Sunday, September 8, 2024

General line - 0115112241

ගල්කිස්සෙන් ඇල්ලූ රොහින්ග්‍යාවරුන් බූස්සට - මියන්මාරය හුදකලා නොකරන බවත් රාජ්‍ය ඇමති කියයි




ගල්කිස්ස ප‍්‍රදේශයේ ඊයේ (26) ඇති වූ උණුසුම් තත්වයෙන් පසු පොලිස් භාරයට ගත් මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් පිරිස බූස්ස හමුදා රැඳවුම් කඳවුර වෙත යොමු කර තිබෙනවා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. 

මෙම පිරිසට කාන්තාවන්, ළමුන් ඇතුළු 31 දෙනෙකු ඇතුළත්. ඔවුන් මෙරට මුහුදු සීමාව ආසන්නයේ දී බෝට්ටු මගින් ගමන් කරමින් සිටිය දී මීට මාස 04කට පෙර නාවික හමුදා භාරයට ගැණුනා.

කන්කසන්තුරේ පොලිසියට භාරදුන් මෙම පිරිස මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තබන ලෙසටයි එහිදී නියෝග කෙරුණේ.

පසුව නීතිපති උපදෙස් අනුව ඔවුන් මුදා හැරීමටයි මල්ලාකම් අධිකරණය තීරණය කළේ.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කාර්යාලයට භාරදීමෙන් අනතුරුව මෙම පිරිස ඊයේ පස්වරුව තෙක් ගල්කිස්ස ප‍්‍රදේශයේ කුලී නිවාසයක රඳවා තබා තිබුණා.

ඒ පිළිබඳ අනාවරණය වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි සිහල රාවය සංවිධානයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් විරෝධතාවයේ නිරත වීමත් සමගයි මෙම උණුසුම් තත්ත්වය ඇති වුණේ. 

ඊයේ ඇති වූ මෙම තත්වයෙන් පසු පාර්ලිමේන්තුවේ දී ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ හා අමාත්‍ය තලතා අතුකෝරළ අතර එහිදී සංවාදයක් ඇති වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ සඳහන් කළේ මේ පිළිබඳව අමාත්‍යවරියගේ අවධානය යොමු කරන ලෙසයි. එහිදී අමාත්‍ය තලතා අතුකෝරළ සඳහන් කළේ මෙම කරුණු ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙසයි.

කෙසේ වෙතත් නෙත් නිවුස් කළ විමසීමක දී ශී‍්‍ර ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටියේ මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින්ට කිසිසේත්ම ශී‍්‍ර ලංකාවට ඇතුළුවීමට ඉඩක් නොමැති බවයි.  

ඔවුන්ට ශී‍්‍ර ලංකාවට පැමිණීමට මියන්මාරයෙන් වීසා ලබානොදෙන බවත් එහිදී ප‍්‍රකාශ කෙරුණා. රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට සරණාගතභාවය ලබාදීම සම්බන්ධයෙන් ද මෙතෙක් කිසිදු තීරණයක් නොමැති බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටියා.

එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබද තීරණ ගත යුත්තේ විදේශ අමාත්‍යංශය බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණා. 

මේ අතර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පැවසුවේ රෝහින්ග්‍යාවරුන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වුවත් මෙම ගැටලූවේදී මියන්මාරය හුදෙකලා නොකර මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ට උදව් කළයුතු බවයි.