Sunday, September 8, 2024

General line - 0115112241

දිගම ඔසරිපොට සිද්ධියේ චෝදනා ලද මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් උසස්වීමක් ලබයි




දිගම ඔසරිපොට හැඳ ගිනස් වාර්තාවක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උසස්වීමක් ලබාදී තිබෙනවා.

ඒ, ඌව පළාත් ප‍්‍රධාන ලේකම්වරයා ලෙස ස්ථාන මාරුවක් ද සමගයි.

දිගම ඔසරිපොටේ සිද්ධියට පාසල් ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත්දා විශේෂ පරීක්ෂණයක් පැවැත්වුණා.

එහිදී තීරණය කෙරුණේ අදාළ සිද්ධියේ දී පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වරදක් කර නොමැති බවත්, වරද සිදු කර ඇති බව හැඟෙන්නේ අධ්‍යාපන ලේකම්වරයා බවයි. 

කෙසේ වෙතත් අදාළ සිද්ධියට අධ්‍යාපන ලේකම්වරයාට පමණක් චෝදනා කිරීම සාධාරණ නොවන බවයි මධ්‍යම පළාත් සභා විපක්ෂ නායක චානක අයිලප්පෙරුම කියා සිටියේ. 

ඉකුත්දා පැවති මංගල උත්සවයක් සඳහා පාසල් ළමුන් 250 දෙනෙකු යොදාගෙන තිබුණේ ගිනස් වාර්තාව තැබීමට මනාලිය හැඳ සිටි ලොව දිගම ඔසරිපොට අල්ලා ගැනීම සඳහායි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයකින් මේ වනවිට ද පරීක්ෂණ ක‍්‍රියාත්මක වනවා. ජාතික ළමා රක්ෂක අධිකාරියේ නිලධාරී කණ්ඩායමක් දැනටමත් මහනුවරට ගොස් සිටින්නේ ද පරීක්ෂණ සිදු කිරීමේ අරමුණින්.