Friday, October 18, 2024

General line - 0115112241

යාපනයේ විද්‍යා වෙනුවෙන් උසාවියෙන් මිලියන හතක්.. - විජයකලාත් ඈඳුණු රටක් හැඬවූ නඩුවක ඇතුළාන්තය මෙන්න 

සුගත් ධර්මප්‍රිය/මාධව කුලසූරිය




සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා  දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හත් දෙනෙකු වෙත මේවන විට  මරණීය දණ්ඩනය ලබාදී අවසන්.

විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් වූ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර්, සහ වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂීමහේන්ද්‍රන්ගේ ඒකමතික තීන්දුවක් ලෙස අදාළ දඬුවම ප්‍රකාශයට පත් වුණා.

ඝාතනට සම්බන්ධ 02 වන විත්තිකරු පූබාලසිංහම් ජෙයකුමාර්, 03 වන විත්තිකරු පූබාලසිංහම් තවකුමාර්, 04 වන විත්තිකරු වන මහාලිංගම් ශෂිදරන්, 05 වන විත්තිකරු වන තිල්ලේනාදන් චන්ද්රනහාසන්, 06 වන විත්තිකරු වන ශිවදේවන් දුෂාන්තන් නොහොත් පෙරියම්බි, 08 වන විත්තිකරු ජෙයදරන් කෝකිලන්,09 වන විත්තිකරු මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් යන අයට   මරණ දණ්ඩණය ලබාදීමට නියෝග කරනු ලැබුවා.

01 වන විත්තිකරු වන පූබාලසිංහම් ඉන්ද්රවකුමාර් හා 07 වන විත්තිකරු වන පලනි රූපසිංහම් කුගදාසන් නමැත්තන් නිදොස් කොට නිදහස් කිරීමටයි එහිදී  නියෝග කෙරුණේ.

මීට අමතරව මරණ දණ්ඩනයට ලක්වූවන් වෙනුවෙන් වසර 30 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණා.

එක් අයෙකු රුපියල් මිලියනය බැගින් මිලියන 07 ක මුදලක් විද්‍යා   දැරියගේ පවුලට ගෙවිය යුතු බවත් නඩු තීන්දුවේ සඳහන් වනවා.


මේ අතර විද්‍යා ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන සුවිස් කුමාර් නමැත්තාට රැකවරණය දීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට ද පසුගිය කාලයේ චෝදනා එල්ල වුණා.

එම චෝදනා යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඇප මත මුදාහරිනු ලැබුවා.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් ද මෙම නඩු විභාගය අතර කතාබහට ලක්වුණා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ නීතිඥවරුන් අධිකරණයේ දී කළ ප‍්‍රකාශයක් සැලකිල්ලට ගනිමින් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් ද ප‍්‍රකාශයක් ලබා ගන්නැයි කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබූණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුව අධිකරණයට සඳහන් කර සිටියේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් සෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් විදුලි කණුවක බැඳ ප්‍රදේශවාසීන් පහර දුන් අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පොලිසියට දන්වා ඇති බවයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මුදා හැරීම සම්බන්ධයෙන් විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය දැනගෙන ඇත්තේ ඊට පසු දින පැවැති රැස්වීමකදී බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.