ශ්‍රී ලංකාවේ කටයුතු කළ ඉන්දීය සාම හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලවී තිබෙනවා. ඒ වසර 30ට පසුවයි.
ඉන්දීය සාම හමුදාව ශ්‍රී ලංකාවේ කටයුතු කර වසර 30ක් අවසන් වීම සැමරීම නිමිත්තෙන් උත්සවයක් පසුගියදා යාපනයේ දී පැවත්වුණා.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දිය සාම හමුදාවේ ජනරාල්වරයෙකු වු ශේනෝන් සිං සහභාගී වුණා.
එම උත්සවය පැවති අතරවාරයේ ජනරාල් ශේනෝන් සිං යාපනය ශික්ෂණ රෝහලට ද පැමිණියා.
එහිදී රෝහල් කාර්ය මාණ්ඩලය ඔහුට සිය විරෝධය පල කර තිබෙනවා.
එමෙන්ම ඉන්දීය සාම හමුදාව විසින් යුද අපරාධ සිදුකර ඇති බවයි යාපනය රෝහලේ කාර්ය මාණ්ඩලය චෝදනා එල්ල කළේ.
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ඉන්දීය සාම හමුදාව උතුරේ සිදුකළ ක්‍රියාන්විත මෙහෙයුමක දී යාපනය ශික්ෂණ රෝහලට ප්‍රහාරයක් එල්ලවූ බවත් එහිදී සාමාන්‍ය වැසියන් 60 ක් ජීවිතක්ෂයට පත්වුණු බවත් සඳහන්.
එම අවස්ථාව සියැසින් දුටු සාක්ෂියක් එම රෝහලේ සේවය මණ්ඩලයට ඇතුලත් අතර ඔහු එහිදී මේ පිළිබඳව අනාවරණය කර තිබුණා.
එම මෙහෙයුමේ දී කාලතුවක්කු යොදාගෙන ඉන්දීය සාම හමුදාව ප්‍රහාර එල්ල කළ බවත් ඔහු පවසා තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය තමන් නොදැන සිටි බවයි ඉන්දීය සාම හමුදාවේ ජනරාල්වරයා පවසා තිබෙන්නේ.
එමෙන්ම තමන්ට එරෙහිව නඟන යුද අපරාධ චෝදනාව තමන් හෙළා දකින බවත් ඔහු කියා සිටියා.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රහාරවලට එරෙහිව ඉන්දීය සාම හමුදාව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිප්‍රහාර හමුවේ එවැනි යම් යම් සිදුවීම් නොදැනුවත්ව සිදුවන්නට ඇති බවයි ශේනෝන් සිං පැවසුවේ.
යුද ඉතිහාසයේ ලොවපුරා මෙවැනි සිදුවීම් විශාල වශයෙන් වාර්තා වන බවත් ඒ සියල්ල යුද අපරාධ ලෙස නොසලකන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.