Sunday, September 8, 2024

General line - 0115112241

නාමල් - සුජානි - ඔනෙලා - නිත්‍යා අද අධිකරණයට

අධිකරණ වාර්තාකරු




අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම හරහා විශුද්ධීකරනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට  එරෙහිව පවතින නඩුව අද (31) කොළඹ මහාධිකරනයේ දී කැඳවනු ලැබුවා.

එහිදී ලබන වසරේ පෙබරවාරි මස 16 සහ 20 යන දිනවල විභාගයට නියම කර ඇති නඩුව ලබන වසරේ අප්‍රේල් මස 4 වැනි දා විභාගය සඳහා කල් තබන ලෙසට නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහාධිකරන විනිසුරු පියසේන රණසිංහගෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම සලකා බැලීම නොවැම්බර් මස 29 වැනිදා සිදු කරන බවයි විනිසුරුවරයා දැනුම් දුන්නේ.

අධි චෝදනා පත්‍රයට අදාල ලේඛන කිහිපයක් අද විත්ති පාර්ශ්වයට නීතිපතිවරයා විසින් ලබා දීමට කටයුතු කර තිබුණා.

අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බොගොල්ලාගම, ඔනෙලා ඉරේෂා ද සිල්වා සහ  නිත්‍යා සෙනානි යන අය මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ ඉදිරියේ පෙනී සිටියා.
 
මෙම නඩුවේ තවත් විත්තිකරුවෙක් වන ඉන්දික කරුණාජීව නොමැතිව නඩුව විභාගයට ගැනීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල සිට මහේස්ත්‍රාත් අධිකරණය මග හරිමින් සිටි ඉන්දික කරුණාජීව යන අය අත්අඩංගුවට ගැනීමට අන්තර් ජාතික පොලිසිය හරහා විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා.