Saturday, July 27, 2024

General line - 0115112241

දුම්රිය වර්ජනය අත්හිටුවේ (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර / නිශාන් ද සිල්වා




අද මධ්‍යම රාත‍්‍රියේ සිට ආරම්භ කිරීමට සූදානම්කර තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසුවය.

-----------------------------------------------------------------

දුම්රිය වර්ජනයට සැරසෙන වෘත්තීය සමිති නියෝජිතයන්ට කැඳවීමක් 

08-11-2017 11:48

අද මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන දුම්රිය වෘත්තිය සමිති සඳහා අද (08) පස්වරු 2.00ට සාකච්ඡාවක් සඳහා කැඳවා තිබෙනවා.

ඒ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟයි.

එම සාකච්ඡාවෙන් ලැබෙන ප‍්‍රතිඵල දෙස බලාසිටින බවයි වෘත්තිය සමිති ප‍්‍රකාශ කළේ. කෙසේවෙතත් මේ දක්වා වර්ජනය අත්හැරීමට තීරණයක් ගෙන නොමැති බවයි දුම්රිය පාලකරුවන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න අවධාරණය කරන්නේ.

ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට වුවද යාමට සූදානම් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

----------------------------

තීරණයේ වෙනසක් නෑ - අද සිට දුම්රිය නෑ

(08-11-2017 06:08)

තරංග රුක්ෂාන් ජයසේකර

 

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

දුම්රිය එන්ජින් රියදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක සහ නියාමකවරුන් මෙම වර්ජනයට එක්වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ තම ගැටලූ සම්බන්ධයෙන් මෙතෙක් බලධාරීන් නිසි ප‍්‍රතිචාර නොදැක්වූ බවට චෝදනා කරමින්.

කෙසේවෙතත් දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය කිසිසේත්ම පිළිගත හැකි කරුණු මත පදනම් නොවූ වර්ජනයක් බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ජී.එස්. විතානගේ ප‍්‍රකාශ කළේ ගැටලුවලට විසඳුම් ලබාදී තිබියදීත් මෙවැනි වර්ජනයක් ආරම්භ කිරිම කිසිසේත්ම සාධාරණ නොවන බවයි. 

මීට පෙර ද වෘත්තිය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වූ අතර බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඉකුත් ඔක්තෝබර් 20 වැනිදා මෙම වර්ජනය අත්හිටුවීමට තීරණ්‍ය කළා.

කෙසේවෙතත් දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් ඉකුත් ඔක්තෝබර් 11 වැනිදා රාත‍්‍රියේ හදිසියේ ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවකට පත්වුණා. 

 

-----------------------------------

හෙට දුම්රිය වර්ජනය ස්ථිරයි ලු (UPDATE)

07-11-2017 12:36

(නිශාන් ද සිල්වා)

සැලසුම් කළ පරිදි හෙට (08) මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය වර්ජනය කි‍්‍රයාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

වැටුප් විෂමතා නිවැරැදි කරගැනීම සඳහා මීට පෙර කළ වෘත්තිය සමිති අරගලයේම දිගුවක් ලෙස වර්ජනය කැඳවන බවයි දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට ආරම්භ කිරීමට නියමිත මෙම වර්ජනය සම්බන්ධයෙන් නෙත් නිවුස් ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී. එස් විතානගෙන්ද විමසීමක් කළා. ඔහු කියාසිටියේ මෙම වර්ජනය සාධාරණ නොවන බවයි.

දුම්රිය එන්ජින් රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක සහ දුම්රිය නියාමකවරුන් මෙම වර්ජනයට එක්වීමට නියමිතයි. 

-----------------------------------------------

දුම්රිය වර්ජනයකට යළිත් සූදානමක්

(06-11-2017 18:44)

ලබන 08 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වී වැඩවර්ජනයක් ආරම්භ කරන බව ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තිය සමිති පවසනවා.

වැටුප් විෂමතා නිවැරැදි කරගැනීම සහා මීට පෙර කළ වෘත්තිය සමිති අරගලයේම දිගුවක් ලෙස මෙම වැඩ වර්ජනය කැවන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

මේ ඒ පිළිබ කරුණු දක්වන දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් තමන් මෙම තීරණයට පැමිණි බවයි.

අග්‍රාමාත්‍යවරයා ද මැදිහත් වී අදාළ ගැටළුව විසදීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා සිටි අතර එම කාලය ගතවී ඇති අතර ගැටළුව විසඳීමට පියවර ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

දුම්රිය එන්ජින් රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක සහ දුම්රිය නියාමකවරුන් මෙම වෘත්තිය සමිති අරගලයට එක්වන ශ්‍රේණි කිහිපයක්.