Friday, May 17, 2024

General line - 0115112241

දිගාමඩුල්ලෙන් හමුවූ තහනම් ඖෂධ පෙති (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල - අම්පාර




ශ්‍රී ලංකාවේ අලෙවිය තහනම් කර ඇති නීති විරෝධී ට්‍රැමඩෝල් වර්ගයේ ඖෂධ පෙති තොගයක් සමග සැකකරුවෙකු අම්පාර නගරයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර සිට අම්පාර දක්වා ධාවනය වු බස් රථයකට නුවරදී ලබාදුන් පාර්සලයක් පිළිබඳ සැක සිතු බස් රථයේ කොන්දොස්තරවරයා පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි මෙම ඖෂධ හමුවී ඇත්තේ.

බස් රථය අම්පාර දක්වා පිටත්වීමට සුදානම් වන අවස්ථාවේ පැමිණි පුද්ගලයෙකු කොන්දොස්තරවරයාගෙන් විමසා ඇත්තේ අම්පාර දක්වා පාර්සලයක් රැගෙන යා හැකිද යන්නයි.

එහි ඇත්තේ මොනවාදැයි ඔහු විමසු විට  ක්‍රීම් වර්ග කිහිපයක් ඇති බවට පැමිණි පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව අදාළ පාර්සලය බස් රථයට දමා ඇති අතර එය අම්පාරේදී ලබාගන්නා පුද්ගලයාගේ දුරකථන අංකය ද ලබාදී තිබෙනවා.

බස් රථය මහියංගණයට පැමිණි පසු පාර්සලය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයා කොන්දොස්තරවරයාට දුරකථන ඇමතුමක් ලබාදී බස් රථය ඇති ස්ථානය විමසා ඇතැයි සඳහන්.

බස් රථය මහියංගණය පසු කරමින් පැමිණෙන බවට ඔහු ප්‍රකාශකර ඇති අතර අනතුරුව පාර්සලය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයා අවස්ථා ගණනාවක්ම දුරකථන ඇමතුම් ලබාදෙමින් බස් රථය ඇති ස්ථානය විමසීම හේතුවෙන් සැක සිතු කොන්දොස්තරවරයා පාර්සලය විවෘත කර බලා තිබෙනවා.

එහිදී එහි තිබු ඖෂධ පිළිබඳ සැක මතුවීම හේතුවෙනුයි අම්පාර පොලිසියට තොරතුරු දැනුම්දී ඇත්තේ.

අනතුරුව පාර්සලය ලබාගැනීමට පැමිණි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ අදාළ පාර්සලයේ ඖෂධ පෙති 23000 ක් ඇති බවයි.

ඉන් එක් පෙත්තක් රුපියල් 500 කට අලෙවි කරන බවට ද ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම පෙති වර්ගය මෙරට අලෙවි නොකරන බවට තොරතුරු ලැබී ඇති අතර මෙම ඖෂධවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

සැකකරු පොලිස් අත්අඩංගුවවේ පසුවන අතර අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබෙනවා.