Sunday, September 8, 2024

General line - 0115112241

හඳුනා නොගත් රෝගය 21 වැනි බිල්ලත් ගනී - යාපනයේ භූත බිය තවත් පැත්තකට පැතිරේ

දිනසේන රතුගමගේ




යාපනය හා මුලතිව් පළාත්වල පැතිර යන මෙතෙක් හඳුනා නොගත් උණ රෝගයට ගොදුරු වී මිය ගිය සංඛ්‍යාව මේ වන විට 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (30) අලුයම මුලතිව් හී කාන්තාවක් යාපනය ශීක්ෂණ රෝහලේදී මිය යාමත් සමගම එම රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව මෙලෙස 21 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ මුරුගානන්දන් ජෙයනී නැමති 44 හැවිරිදි මුලතිව් වට්ටුවාල් පළාතේ පදිංචි දෙදරු මවක්.

උණ රෝගය වැළදුණු කාන්තාව මුලින්ම මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇගේ තත්ත්වය බරපතල වූ බැවින් යාපනය ශීක්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. එහිදී  ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස මිය ගියා.

ඇයගේ ස්වාමි පුරුෂයා වූ පී. මුරුගානන්දන් මීට දින 17 කට ඉහතදී මුලතිව් රෝහලේදී මියගොස් ඇත්තේද මෙම උණ රෝගය වැළදීමෙන්.

මෙම උණ රෝගය කුමක්දැයි හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය  අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මුලතිව් ප්‍රදේශයට පැමිණ විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් සිටිනවා.

ඔවුන් මුලතිව් පළාතට පැමිණි පසුව යාපනයෙන් හා මුලතිව් ප්‍රදේශයෙන් එක් රෝගියා බැගින් රෝගීන් දෙදෙනෙකු මේ වන විට මිය ගොස් තිබෙනවා.

යාපනය නගරයේ ජනතාව මෙම උණ රෝගය භූත දෝෂයක් වශයෙන්ද හඳුන්වනවා. මේ නිසා යාපනය පුරා භූත බියක් පැතිරෙමින් ඇති බව අප මීට පෙරද වාර්තා කළා.

මුලතිව් හීදි ද එකම පවුලේ දෙදෙනෙකු මිය යෑම නිසා මේ වන විට භූත බිය මුලතිව් ප්‍රදේශයේද පැතිරෙමින් ඇති බවද වාර්තා වෙනවා.