Sunday, September 8, 2024

General line - 0115112241

සාම්පූර් දාගැබ විනාශ කිරීම සිදු වුණේ කාගේ අනුදැනුම මත දැයි මෙත්තාරාම හිමියන් කියයි




සාම්පූර් සූඩකුඩා ප‍්‍රදේශයේ ඉපැරණි දාගැබක් සහිත භූමිය විනාශ කිරිම උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ගේ අනුදැනුම මත සිදුවූවක් බව නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝ නායක කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියන් පවසනවා.

රටේ පෞරාණික ස්ථාන රැකගැනීම බලධාරීන් සතු වගකීමක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මෙහිදී මෙත්තාරාම හිමියන් වැඩි දුරටත් පෙන්වා දුන්නේ ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයන් නොමැති බවට ඔප්පු කිරීමට බවයි.

සාම්පූර් සූඩකුඩා ප‍්‍රදේශයේ ඉපැරණි දාගැබක් සහිත භූමිය විනාශ කිරිමට යොදා ගත් බැකෝ යන්ත‍්‍රය සේරුනුවර, රිච්චලම්පත්තු ප‍්‍රදේශයේ සඟවා තිබියදී ඉකුත්දා සොයා ගැණුනා.

සැඟවීම සඳහා අදාල ස්ථානයට බැකෝ යන්ත‍්‍රය  රැගෙන ගිය ලොරි රථයක් ද තෝපූර් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි සාම්පූර් පොලිසිය පැවසුවේ.

බැකෝ යන්ත‍්‍රයේ හිමිකරු ද සාම්පූර් පොලිසියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේයි.

ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ දාගැබ සහිත බිම විනාශ කරමින් බැකෝ යන්ත‍්‍රය ක‍්‍රියා කරවූ පුද්ගලයා පසුගිය 26 වැනිදා හලාවත ප‍්‍රදේශයේදි රිය අනතුරකට ලක්ව ඇති බවයි. බරපතල තත්ත්වයෙන් පසුවන එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණු බවද පසුව අනාවරණය වුණා.

බැකෝ යන්ත‍්‍රය සැඟවීමට පටවා ගෙන ගිය ලොරි රථය පැදවූ රියදුරාද එදිනම තෝපූර් ප‍්‍රදේශයේදී යතුරු පැදියෙන් ඇද වැටී මූතුර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ත‍්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කෙරුණා.