Thursday, May 9, 2024

General line - 0115112241

කුළු බඩු සංගම් රජයෙන් කරන ඉල්ලීම

තරංග රුක්ෂාන් ජයසේකර




වෙනත් රටවලින් බාල ගම්මිරිස් මෙරටට ආනයනය කිරීම හා මෙරට ගම්මිරිස් අපනයනයේදී නිෂ්කාශන කටයුතු ප‍්‍රමාද වීම හේතුවෙන් ගම්මිරිස් අපනයනකරුවන් ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වනවා.

වැඩිදුරටත් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ ගම්මිරිස් අපනයන නිෂ්කාශන කටයුතු සඳහා සතියත් සති 2ත් අතර කාලයක් ගතවන බවයි. එමෙන්ම වෙනත් රටවලින් බාල ගම්මිරිස් ආනයන කිරීම ද දැඩි ගැටලුවක් බවයි කුළු බඩු හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදකයින්ගේ හා ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති වර්නන් අබේරත්න පැවසුවේ.

ඒ හේතුවෙන් මෙරට ගම්මිරිස් සඳහා පවතින කීර්ති නාමයට ද හානියක් සිදුවන බව ඔහු ප‍්‍රකාශ කළා. මෙරටට ගෙන්වන බාල වර්ගයේ ගම්මිරිස් මෙරට ගම්මිරිස් හා කලවම් කිරීමේ ජාවාරමක් ද සිදුවන බවටයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට ගෙන්වන විදේශීය ගම්මිරිස් තහනම් කිරීම හෝ ඒවායේ ගුණාත්මකභාවය පරීක්ෂා කර සහතිකයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි කුළු බඩු හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදකයින්ගේ හා ව්‍යාපාරිකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ. 

එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වන කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ගම්මිරිස් අපනයන නිෂ්කාශන කටයුතු පැය 48ක් තුළ ඉටු කරන ලෙස වාණිජ දෙපාර්තමේන්තුවට උපදෙස් දි ඇති බවයි. 

බාල ගම්මිරිස් මෙරටට ගෙන්වීම සහ ඒවා මෙරට ගම්මිරිස් සමග කළවම් කර ප‍්‍රති - අපනයනය සිදුවන්නේ නම් එය වැළැක්වීමට ද පියවර ගැනීමටයි අමාත්‍යංශය දැනටමත් කටයුතු යොදා ඇත්තේ.

ගම්මිරිස් යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අපනයන කුළු බඩු භෝගයක්. 2015 දී ගම්මිරිස් අපනයනයෙන් රුපියල් මිලියන 21,600ක් උපයා ගෙන තිබුණා. එහෙත් 2016 දී ගම්මිරිස් අපනයනයෙන් උපයා ගෙන තිබුණේ රුපියල් මිලියන  10,800ක් පමණයි. 

2015 දී වාර්ෂික ගම්මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18,660ක් වු අතර, 2017 වන විට එය මෙටි‍්‍රක් ටොන් 25,995ක දක්වා වර්ධනය වී තිබෙනවා.

මෙරට ගම්මිරිස් අපනයනයෙන් සියයට 60ක් අපනයනය කරන්නේ ඉන්දියාවටයි. ඉතිරි සියයට 40 යුරෝපයට සහ අමෙරිකාවට අපනයනය කෙරෙනවා. මෙරට වාර්ෂික ගම්මිරිස් අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 5,800ත් 6,000ත් අතර පවතිනවා.