Sunday, September 8, 2024

General line - 0115112241

මාධ්‍ය කතා කරන්නේ ව්‍යවස්ථාව නොදැනයි! අගමැති ඉවත්කරන්න ජනපතිට බලය නැහැ




"ආණ්ඩුව ගැන මාධ්‍ය මගින් කතා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්. ඒ අයට මා කියන්න කැමතියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දන්නේ නැත්නම් ඒක ඉක්මනට කියවලා ඉන්න. මාධ්‍ය නිදහස තිබුණා කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තම මතය සමාජගත කිරීම වැරදියි" යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන  ඊයේ (15) කොළඹ 07 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවති 2018 වර්ෂයේ ප්‍රථම දිසාපති සමුළුව ආරම්භයේ දී  පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා

''රටේ මැතිවරණ කිහිපයක් තිබෙනවා. ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය. 2015 ජනවාරියේ ජනාධිපපතිවරණයෙන් විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගත්තා. 2015 අගෝස්තු මාසයේ මහ මැතිවරණයේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරාපත්කර ගත්තා. එහෙම කළා කියලා පළාත් සභාවල මහ ඇමතිවරු වෙනස් වුණේ නැහැ. දැන් පළාත් පාලන මැතිවරණය තිබුණාට පස්සේ මාධ්‍ය මගින් ආණ්ඩුව වෙනස් කරන්න කතා කරනවා. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වා තිබෙනවා රජයක් පිහටුවන ආකාරය, අගමැතිවරයෙක් පත්කරන ආකාරය. ඒක තනි පක්ෂයක ආණ්ඩුවක් නම් කොහොම ද කරන්නේ, ජාතික ආණ්ඩුවක් නම් කොහොම ද කරන්නේ කියලා හරියට ම නීතිය සඳහන් වෙනවා. එසේ තිබිය දී ඇතැම් මාධ්‍ය රටේ අගමැතිවරයා වෙනස් කරන්න හදනවා. 19 වැනි සංශෝධනය අනුව අගමැති පත්කිරීමට බලය ජනාධිපතිට තියෙනවා. ඉවත් කිරීමට බලයක් නැහැ. මේ බලය කියන එක නැති කරලා තියෙන්නේ ජාතික ආණ්ඩුවක ස්ථාවර බව ඇතිකිරීමට වසර 4ක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න හෝ අගමැතිවරයා ඉවත්කරන්න බැහැ ඉන් පසු ප්‍රතිපාදන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. රටේ ස්ථාවරය පැහැදිලිව 19 වැනි සංශෝධනයෙන් සුරක්ෂිත කරලා තියෙනවා. දන්නේ නැත්නම් කියවා බලා තේරුම් ගන්න"

"පළාත් පාලන ආයතන ව්‍යුහය දැක්කාම ජාතියටත් රටටත් අහිතකරයි කියලා හිතෙනවා. බදුල්ල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය දිනලා පළාත් පාලන ආයතන සියල්ල අහිමිවෙලා. මේක ප්‍රජාතන්ත්‍රවාදයට ත්‍රස්තවාදය මුසු කළ අවස්ථාවක්. ඒකට මාත් වගකිව යුතුයි. මොක ද මමත් කැබිනට් මණ්ඩලයේ සිටියා. සමස්ථ රටක් ලෙස කල්පනා කරාම රටට ඔරොත්තු නොදෙන ක්‍රියාවලියක් මහජනතාව ඉදිරියේ තියලා තියෙනවා. මජහනතාවගේ මේ ගැන හිතන කොට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේ ක්‍රමයේ විකෘත්තියක් තියෙනවා. එය ඉදිරියේ දී නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා සංශෝධන ගෙන ආ යුතුයි. පළාත් පාලන ආයතනවල ඇතිවී තිබෙන තත්ත්වය මෙයයි. මේ තත්ත්වය නිවැරදි කිරීම සඳහා ජනතා සංවිධාන ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. '' යැයිද ඔහු පැවසුවා