Sunday, September 8, 2024

General line - 0115112241

ලංකා ඉතිහාසයේ දෙවෙනි වතාවට කරන මහා පිංකමකට ගලගොඩඅත්තේ හිමියන්ගෙන් සියලු ආගමිකයින්ට ඇරයුම්




මෙරට ඉතිහාසයේ එක් අවස්ථාවක් පමණක් කෙරුණු පිංකමක් මැයි 19දා රුවන්වැලි මහා සෑය අබියසදී පවත්වන බව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා. බොදු බල සේනා මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් උන්වහන්සේ මේ බව පැවසුවා.

"ඉතිහාසයේ දෙවනි වතාවට විශාල පිංකමක් සිද්ධ කරන්න අනුරාධපුරේ රුවන්වැලි මහා සෑයේ. මොකද මේ රට වැටෙනවා දවසින් දවස අපිට බලාගෙන ඉන්න බෑ. අපි මේ රටට ආදරෙයි. සිංහලයන් හැටියට අපිට තියෙන එකම රට මෙච්චරයි අවුරුදු දෙදදහස් ගානක් මේක රැක්කා. අවුරුදු දහස් ගානක් එක දිගට බණ අහපු ජාතියක් අපි. මේ මිනිස්සුන්ගෙ මතය විනාශ කරන්න මේ මිනිස්සුන්ගේ දර්ශනය අරමුණු පරමාර්ථ මොට කරන්න සමත්වෙලා තියෙනවා මේ අවුරුදු 70 තුල මේ දේශපාලන නායකයො තම තමන්ගේ බලය වෙනුවෙන්.

ඒ නිසා අපි කල්පනා කෙරුවා ඉතිහාසයේ එකම එක වතාවයි අපි මේ සිද්ධ කරන්නට යන පිංකම සිද්ධවෙලා තියෙන්නෙ ජාතියේ චීවර පූජාව.. ශාසානාභිවෘද්ධිය උදෙසා වූ සම්මා වායාමය. අපි ඉලක්කයක් තබාගෙන තියෙනවා මැයි 19 වෙනිදා අනුරාධපුරේ රුවන්වැලි මහා සෑය ලග මේ චීවර පූජාව කරන්න. මේ වැඩපිලිවෙලේ තේමාව "සංඝානුභාවෙන.. සංගායනාවට කාලයයි". මේ ජාතියේ ඉදිරි පැවැත්ම පිළිබද විශ්වාසයක් ඇතිකරගන්න නම් හැම ක්ෂේත්‍රයක් කෙරෙහිම ජාතික, ආගමික, අධ්‍යාපනික, නීති, කෘෂිකාර්මික, ආර්ථික මේ හැම ක්ෂේත්‍රයක් පිලිබදවම අපි යම්කිසි සංගායනාවක් කළ යුතුයි. මේ රට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට නතු කළයුතුයි. මොකද හැම අතින්ම රෝගී වූ ආකල්පමය අතින් රෝගී වුනු කම්මැලි ජාතියක් ‍වෙලා. මේ රටේ ගෑනු ටික නැත්තං මේ රටත් නෑ, ශාසනයත් නෑ, අපිත් නෑ. ඒ ගෑනුන්ගෙ ධෛර්ය නැත්තං. පිරිමි ටික ඔහේ බිබී ඇවිදිනවා, කාලය නාස්ති කරනවා, වැඩ කරන්නෙ නෑ. ටයි කොට් දාගත්තු මහත්තුරු වගේ, කම්කරුවෙක් නෑ. ඉතින් කොහොමද අපි මේ රට නගන්නෙ?

අපි කල්පනා කලා ඉස්සර වෙලා මේ රටේ පොදුවේ සිංහල දමිල මුස්ලිම් බර්ගර් කියලා කිසි බේදයක් නෑ. අපිට කිසි ජනවර්ගයක් කෙරෙයි වෛරයක් නෑ. හැබැයි අපිට අනාගතේ අනතුරක් වියහැකි මූලධර්මවාදී ආගමික කල්ලි පිලිබද කියවීම එහෙමමයි. එක්කො ඒ අය වෙනම හදුනාගෙන නිවැරදි මගට ගන්න ඕනි. එහෙම නැත්තං නීති අනපනත් මගින් ඒවා නතර කරගන්න ඕනි. ඒ අනතුර අපි රටට පෙන්නලා දුන්නා. එතනින් එහාට ඒවට වැඩපිලිවෙලවල් හදන එක අපේ රාජකාරිය නෙවෙයි. ඒ නිසා මේ රට තුල උපන් සියලුම සිංහල දෙමල මැලේ මුස්ලිම් බර්ගර් ආදී සියලුම මිනිස්සුන්ට ආදරණීය ලෙස අපි ආරාධනා කරනවා මේ අති දැවැන්ත පින්කමත් එක්ක එකතුවෙන්න කියලා.

මේ පිංකමට නිදාන කතාවක් තියෙනවා. අනුරාධපුර යුගයේ වලගම්බා රජතුමා සතුරු ආක්‍රමණ නිසා අවු 14 ක් හැංගිලා හිටියා මේ රට පුරාම තැන් තැන්වල. ඒ කාලෙ මේ රටේ හාමුදුරුවරු තමයි එතුමව රැකගත්තෙ පිණ්ඩපාතෙ කරලා තමයි එතුමට කුසට ආහාර දුන්නෙ. එතුමගෙ කාලෙ ආපු බැමිණිතියාසාය කියන දරුණු නියගය කෙලවර වුනේ මහා විනාශයකින්. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි මුඛ පරම්පරාවෙන් ගෙනාපු ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන්න අවශ්‍ය පසුබිම හැදුනෙ. ඒ රජතුමාගෙ මල්ලිගෙ පුතා තමයි මහසිලු මහතිස් රජතුමා හැටියට වලගම්බා රජතුමාගෙන් පස්සෙ රජවෙන්නෙ. ඒ රජතුමා පහුගිය රජ කාලෙ වුනු සතුරු අනතුරු ස්වභාවික විපත් දැකලා මගේ රාජ්‍ය කාලයතුල එවැනි අතුරු ආන්තරා නොවේවා  කියන ප්‍රාර්ථනාවෙන් මහා පිංකමක් කරලා තියෙනවා හාමුදුරුවරු සාමග්‍රියේ පිහිටුවලා ඒ ආධායාත්මක ඒ පදනම මත පිහිටුවලා දැහැමෙන් සෙමෙන් අවුරුදු 14ක් රට පාලනය කරලා තියෙනවා.

මහා වංශයේ 33 වෙනි පරිච්ඡේදයේ හරි අපූරුවට මේ පිංකම ගැන විග්‍රහ කරලා තියෙනවා පමණක් නෙවෙයි එහි සාක්ෂි දරලා තියෙනාව ඒ කාලය තුළ එවැනි කිසිදු විපතක් හෝ සතුරු අනතුරක් සිදුනොවුනු බව. ඒ කිව්වෙ ජාතිය සමගියට පත්වුනා. හාමුදුරුවරු ඒකට ආධයාත්මික නායකත්වය දුන්නා. රට සශ්‍රීක වුනා.

මේ සංසිද්ධිය යටත්විජිත යුගයේ දී මේ ජාතියට පණ දෙන්න පෑන හසුරවපු සිකීම් ජාතික එස්. මහින්ද හාමුදුරුවො සිංහලයො වෙනුවෙන් ලියපු ජාතික තොටිල්ල කියන පොතේ මේ මහසිලු මහතිස් රජතුමා කරපු පිංකම ගැන මෙහෙම ලස්සන කවියක් ලියනවා.

මහසිලු මහතිස් නිරිදා
සග සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කළ පිංකම සිතනු සොදා

ඉතින් අපි මේ රට වැටෙන තැන් වලදි ඉතිහාසයේ අපේ රණශූර මී මුතුන් කරපු මේ වගේ කරපු කැපකිරීම් ගැන මහාවංශයේ 33 පරිච්ඡේදයත් මේ කවියත් විමසලා බලන කොට මේ වගේ කරුණු සම්පූර්ණ කරලා තියෙනවා.

ඉතින් ඒ අනුව අපි තීරණය කළා. ඒ කරපු සංඝ සාමග්‍රිය ගොඩ නගලා කරපු පිංකම නැවතත් කරලා මේ වැටුනු රටට ආධාත්මික මගපෙන්වීමක් කරන්න. මේ රටම ඉතාම දරුණු ගණයේ අධර්මවාදීන් අතට මේ බලය හසුරුවන්නන් හා ඔවුන්ට උපදෙස් දෙන්නනං අතට පත්වෙලා තියෙනවා. මේක බුද්ධ භූමියක්. එහෙම කිව්වා කියලා අනෙක් ආගමිකයන්ට හිත් රිදෙන්න ඕනි නෑ. මොකද බුදුහාමුදුරුවො තුන් වතාවක් මේ රටට වැඩම කරලා මේක බුද්ධාභිෂේකයට පත්කලා. ඒ නිසා මේ රටේ  දෙමල මුස්ලිම් හැමෝගෙම වගකීම මේ බුද්ධභෝග ටික රකින එක මිසක් බුද්ධ භෝග කොල්ලකන එක නෙවෙයි. ඒ පදනම ආරක්ෂා කරගත්තොත් හැමෝටම සහජීවනයෙන් ඉන්න පුලුවන්."