Sunday, September 8, 2024

General line - 0115112241

කාන්තා සභික සංඛ්‍යාව ගැන මැතිවරණ කොමිසම අවසන් එකඟතාවකට එයි




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල අනුව පක්ෂවලින් හා ස්වධීන කණ්ඩායම්වලින් පත් කළ යුතු කාන්තා සභික සංඛ්‍යාව පිළිබඳ මැතිවරණ කොමිසම අවසන් එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ, සියයට 25ක කාන්තා නියෝජනය සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමින්.

මැතිවරණ කොමිසමේ  ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ කාන්තා සභික සංඛ්‍යාව අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි. එමෙන්ම, අදාළ කාන්තා සභිකයින් සංඛ්‍යාවම පත් කරන ලෙසටයි මැතිවරණ කොමිෂන් සභාව මෙහිදී ඉල්ලීමක් කිරිමට සූදානම් වන්නේ. 

මිට අදාළ විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා මැතිවරණ කොමිසමේ බලධාරීන් හා පක්ෂ ලේකම්වරු ඇතුළු සාමාජිකයින් අතර පවත්වා තිබෙනවා. එහිදී දේශපාලන පක්ෂ නියෝජිතයින් පවසා ඇත්තේ සම්පූර්ණ කාන්තා සභිකධූර සංඛ්‍යාව පත් කිරීමට සෑම උත්සහයක්ම දරන බවයි. එසේ නොහැකි වන අවස්ථාවක කාන්තා සභිකයින් පත් කිරීමට අවශ්‍ය නොවන අනෙකුත් පක්ෂ ඊට පොළඹවා ගැනීම සඳහා සාකච්ඡා කිරීමටයි ප‍්‍රධාන පක්ෂ මෙහිදී එකග වී ඇත්තේ.

එසේත් නොමැතිනම් සියයට 25ක් නොමැතිව හෝ කාන්තා සභිකයින් පිරිසක් පත් කිරිමට කටයුතු කරන බව අදාළ පක්ෂ විිසින් මැතිවරණ කොමිසමට දැනුම් දීමක් කරනු ලැබ තිබෙනවා. 

මේ අතර සියයට 25ක කාන්තා නියෝජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) උණුසුම් වාද විවාද ඇති වුණා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ සියයට 25ක කාන්තා නියෝජනය නොමැති එහෙත් සියයට 50ක බහුතරයක් ඇති පළාත් පාලන ආයතන පිහිටුවීමේ හැකියාවක් ඇති බවයි.