Sunday, September 8, 2024

General line - 0115112241

කැබිනට් අමාත්‍ය ධුර 02ක් දරණ අැමතිවරු ගැන වැඩි අවධානයක් යොමු වෙයි

හේමන්ත කහවලගේ




කැබිනට් මණ්ඩල සංශෝධනය ලබන 25 වැනිදායින් පසු සිදුවනු ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආරංචි පවසනවා. කෙසේ වෙතත් ඊයේ (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ මෙම සතිය තුළ කැබිනට් සංශෝධනය සිදුවනු ඇති බවයි.

මේ අතර, සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී කැබිනට් අමාත්‍ය ධුර 02ක් දරණ අමාත්‍යවරු සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. 

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව, කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30ක්. රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45කට නොවැඩිවිය යුතුයි.

දැනට පවතින ජාතික ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා ඇතුලූව සිටින කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 47ක්. 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අනුශංගික කරුණු අතරට කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 50කට නොවැඩි විය යුතුයි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරයා ඇතුළුව කැබිනට් ධුර 15ක් ද රාජ්‍ය ඇමතිවරු 11ක්ද, නියෝජ්‍ය අමාත්‍යවරුන් 10ක් ද සිටිනවා. 

එක්සත් ජාතික පක්ෂයේ අගමැති ඇතුළුව කැබිනට් අමාත්‍යවරුන් 32ක් සිටින අතර, රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 12ක්. එම පක්ෂයේ සිටින නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 11ක් වනවා.

ඒ අනුව, පක්ෂ දෙකෙන්ම දැනට පවතින අමාත්‍ය ධූර සංඛ්‍යාව 92ක්. වැඩිම කැබිනට් ධුර සංඛ්‍යාවක් හිමි වන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. 

19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට අනිවාර්යයෙන් හිමිවන අමාත්‍යංශ සංඛ්‍යාව 03ක්. ඒ,ආරක්ෂක අමාතයංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සහ ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යංශය යන අමාත්‍යංශයි.

19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මීළඟට තේරීපත් වන ජනාධිපතිවරයාට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සහ ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යංශය භාරව කටයුතු කිරිමේ හැකියාවක් නොමැති අතර ආරක්ෂක අංශය භාරව කටයුතු කිරීමේ අවස්ථාව පමණක් හිමි වනවා. 

ඒ අනුව සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී  කැබිනට් අමාත්‍ය ධුර 2ක් හොබවන ඇමතිවරු 7ක් සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.