Wednesday, February 5, 2025

General line - 0115112241

නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් අද

තරංග රුක්ෂාන් ජයසේකර/සජිත් තිලකරත්න




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (09) පැවැත්වෙනවා. රාත්‍රී 07ට මෙම රැස්වීම ආරම්භ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ඇතුලූ 16දෙනාද ඊට සහභාගී වීමට නියමිතයි. කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් සම්බන්ධයෙන් අද (09) දිනයේ පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගනු ඇති බවටයි දැනටමත් මත පළ වී ඇත්තේ. මෙම තිරණාත්මක රැස්වීම පිළිබඳ නිදහස් පක්ෂයේ මහ ලෙක්ම් අමාත්‍ය දුමින්ද දිසානායකගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉකුත් දා ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාවේදී කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙකු ඊට පක‍්ෂව ඡන්දය ලබාදුන්නා. දයාසිරි ජයසේකර, එස් බී දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි සහ ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න එම කැබිනට් අමාත්‍යවරුන් හය දෙනායි.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී බී ඒකනායක, ඩිලාන් පෙරේරා සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඡන්දය ලබාදුන්නේ ද යෝජනාවට පක්ෂවයි.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුසන්ත පුංචිනිලමේ, අනුරාධ ජයරත්න, සුමේධා ජී ජයසේන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ තාරානාත් බස්නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන්නා. 

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන් අමාත්‍යවරුන් සමග තවදුරටත් කැබිනට් මණ්ඩලයේ කටයුතු කළ නොහැකි බවට එක්සත් ජාතික පක්ෂය පෙරේදා (07) දිනයේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී දැනුම් දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ඔවුන් අමාත්‍යධුරවලින් ඉවත් විය යුතු බවටයි.

මේ අතර විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  16දෙනා සහභාගී වන විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ පැවැත්වෙන බවටයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. පස්වරුවේ පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ගන්නා තීරණය සම්බන්ධයෙන් එහිදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.