Wednesday, February 5, 2025

General line - 0115112241

බලාපොරොත්තු සුන් කර දැමු විශ්වාසභංගය පිටුපස සැඟවුණු රහස් හෙළිවේ




අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ මෙතෙක් අනාවරණ නොවූ තොරතුරු රැසක් දැන් අනාවරණ වෙමින් පවතිනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර අග්‍රාමාත්‍යධූරයට නිමල් සිරිපාලද සිල්වා පත් කිරීමේ සැලසුමක් පැවති බවයි. ඒ මාස 03ක් වැනි කෙටි කාලයකට බවයි වාර්තා වන්නේ.

එම කාලය තුළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අවලංගු කිරීම තවත් අරමුණක්ව තිබූ බවද පැවසෙනවා. පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයට පත් කිරීමටයි ඒකාබද්ධ විපක්ෂයේ සැලසුම වී ඇත්තේ. එහෙත්, විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම උත්සහයට විරෝධය පළ කර ඇති බවද සඳහන්. අවසන් මොහොතේ ඔවුන් ඡන්දය භාවිත කිරීමට නොපැමිණියේද ඒ හේතුවෙන් බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා මහින්දානන්ද අලූත්ගමගේ යන මන්ත්‍රීවරුන්. ඒකාබද්ධ විපක්ෂයේ එන ඇතැම් පිරිස් විශ්වාසභංගයක් ගෙන ඒම සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයක නොසිටි බවද වාර්තා වනවා. එමෙන්ම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටි එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයාගේ තීරණය වෙනස් වී ඇත්තේ ඡන්ද විමසීමට දින දෙකකට පෙර බවද දේශපාලන ආරංචි පවසනවා. ඒ සඳහා මැදිහත් වී ඇත්තේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා බවයි පැවසෙන්නේ.