Thursday, January 2, 2025

General line - 0115112241

"ඒක බොරුවක්" - ගෝඨාභයගෙන් නිවේදනයක්

කසුන් කැළුම්/නිශාන් ද සිල්වා




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දහසයේ කණ්ඩායම තමන් හමුවන බවට මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වුවද එම කණ්ඩායමෙන් එවැනි ඉල්ලීමක් ලැබී නොමැති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ මාධ්‍ය ඒකකය පැවසුවේ වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුළු සමාජයේ විවිධ පුද්ගලයින් තමා හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක් බවයි. එවැනි නිල හමුවක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දහසයේ කණ්ඩායම සමග අද (12) නොපැවැත්වෙන බවයි ගෝඨාභය රාජපක්‍ෂ සඳහන් කර ඇත්තේ. 

මේ අතර කතාබහට ලක්වූ මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දහසයේ කණ්ඩායමේ සාමාජිකයන් අතරද විවිධ මත පළ වනවා. එම සාකච්ඡාව පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාලගේ නිවසේදී පැවැත්වෙන බවටයි අනාවරණ වුණේ. මෙම සාකච්ඡාව පිළිබදව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා දැක්වූයේ මෙවන් අදහසක්.

"තිලංග සුමතිපාල මහත්තයාට ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හමුවෙලා ඒ ගැන කතා කළාට 16යේ කණ්ඩායමට ප්‍රශ්නයක් නෑ. හැබැයි 16දෙනාගේ කණ්ඩායම දේශපාලන තීන්දු ගැනීමේදී සාකච්ඡා කිරීම අපි පටන් ගත්තේ මහනායක ස්වාමීන් වහන්සේලා හමුවෙලයි. කාදිනල්තුමා හමුවාණා, දි.මු ජයරත්න, මහින්ද රාජපක්ෂ, ඩිව් ගුණසේකර, සම්බන්ධන් වැනි අයව අපි හමුවුණා.. අපි ඊළඟට ජවිපෙ නායකතුමා හමුවෙනවා..පස්සේ හකීම්ලා..තොණ්ඩමන්ලා..බදියුදීන්ලා හමුවෙනවා.."

කෙසේවෙතත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ දහසයේ කණ්ඩායම අතර මෙම සාකච්ඡාව අද පැවැත්වීමට නියමිත බවයි එස්. බී. දිසානායක පැවසුවේ.

එහිදී "අද සුහද සාකච්ඡාවක් තියෙනවා.. ගෝඨාභය රාජපක්ෂ මහතා තිලංග සුමතිපාල මහතාගේ නිවසට ඒ සඳහා එනවා කියලා තියෙනවා. ඉතින් අපි 16යේ කණ්ඩායමේ අයට දන්වලා තියෙනවා..මෙහෙම එනවා.. පුළුවන් අය යන්න කියලා." යනුවෙන් සඳහන් කළා.

මේ පිළිබදව නෙත් නිවුස් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි පැවසුවේ දහසයේ කණ්ඩායම සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අතර සාකච්ඡාව හෙට (13) පැවැත්වෙන බවයි.  

මේ අතර අදාළ සාකච්ඡාව ගැන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය පහතින් දැක්වෙයි.