Friday, January 3, 2025

General line - 0115112241

උතුරු කොරියාවේ සාමය වෙනුවෙන් නිහඩව කැපවූ අමෙරිකානුවා (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




අමෙරිකාව සහ උතුරු කොරියාව අතර සාමය ඇති කිරීම සඳහා ගත් ක්‍රියා මාර්ගය අගයමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ලේකම්වරයා විසින් තමන්ට අද දිනයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් සුභ පැතුම් එක් කළ බව හිටපු අමෙරිකානු පැසි පන්දු ක්‍රීඩකයෙක් වන ඩෙනිස් රොඩ්මන් කියා සිටියා.

" උතුරු කොරියානු නායකයා සමග ඇතිකර ගනු ලැබූ සම්බන්ධය සඳහා මාගේ දායකත්වය ගැන ජනාධිපතිවරයා මා පිළිබඳව ආඩම්බර වන බව ඔහුගේ ලේකම්වරයා මාහට දුරකථනයෙන් දැනුම් දුන්නා" යැයි පැසි පන්දු ශුරයෙක් වන ඩෙනිස් රොඩ්මන් කියා සිටියා.

අමෙරිකානු-උතුරු කොරියානු සමුළුව පැවැත්වූ අද දිනයේදී ඩෙනිස් රොඩ්මන් අමෙරිකාවේ සිට සිංගප්පුරුවට පැමිණියා. එහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේ අද දිනයේදී උතුරු කොරියානු නායකයා මුණගැසෙනවද යන්න ගැන විමසු අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඒ ගැන තමන්ට කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බව කියා සිටියා.

2014 වසරේදී ඩෙනිස් රොඩ්මන් විසින් හිටපු NBA පැසි පන්දු ශුරයින් ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් සමග උතුරු කොරියාවේ ප්‍රදර්ශනාත්මක පැසි පන්දු තරගයකට සහභාගී වූ අතර එහිදී එවකට උතුරු කොරියාවේ දෙවන පෙළ නායකයා වශයෙන් කටයුතු කළ වර්ථමාන නායක කිම් ජොංග් උන් සමග හිතවත්කමක් ඇති විය.

පැසි පන්දු ක්‍රීඩාවට මහත් ඇල්මක් දක්වන කිම් ජොංග් උන් ප්‍රථමයෙන් අමෙරිකාව සම්බන්ධයෙන් ඇල්මක් දක්වන්නේ ඩෙනිස් රොඩ්මන් සමග ඇති කර ගත් හිතවත්කමක් මතය. මෙහිදී තමන්ට අමෙරිකාවේ සංචාරය කිරීමට කැමති බවද උතුරු කොරියානු නායකයා කියා තිබෙනවා. 

උතුරු කොරියානු නායකයාගේ මේ වෙනස්කමත් සමග අමෙරිකාවට සිය සාමයේ දෑත් දිගු කිරීමට කටයුතු කරන ලෙස රොඩ්මන් එවකට අමෙරිකානු ජනපති බැරක් ඔබාමා ගෙන් ඉල්ලා සිටියත් ඔහු ඒ සඳහා කන් නොදුන් බව ඔහු අද අනාවරණය කළා.

කෙසේ වුවත් අද දිනයේ සිදුවූ මෙම ඓතිහාසික හමුව දැකබලා ගැනීමට තමන්ට හැකිවිම ගැන සතුටු වන බව ඔහු කියා සිටියා.

" පසුගිය කාල සිමාවේ මට මරණ තර්ජන පවා එල්ල වුනා. එත් මම විශ්වාස කළා මම නිවැරදියි කියලා. කිම් කියන්නේ යහපත් පුද්ගලයෙක්. ඒ හැමදෙයක් වෙනුවෙන් මට එල්ල වුනු ජිවිත අවධානම පවා ගැන නොසිතා සිටියා. එකේ අගය අද මම අත්විදිනවා" යැයි ඩෙනිස් රොඩ්මන් වාර්තාකරුවන්ට කියා සිටියා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඩෙනිස් රොඩ්මන් පසුගිය කාලයේදී අවස්ථා 06 කදී උතුරු කොරියාවේ සංචාරය කර ඇති අතර ඒ හැම අවස්ථාවකදී උතුරු කොරියානු නායකයා විසින් ඔහුව ගුවන් තොටුපලේදී රතු පලස් එලා රාජ්‍ය ගෞරවය යුතුව පිළිගෙන තිබෙන ඇති බවයි.