දින 14 ක් පුරා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත තැපැල් සේවකයින් අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන්ට අද (24) සංදේශයක් භාරදුන්නා. ඒ, සිය ගැටළුවලට මෙතෙක් විසදුම් ලබානොදීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන් දැනුවත් කිරීමටයි.
ගැටළුවට විසදුම් ලැබෙන තෙක් වර්ජනය අත්නොහරින බවයි මහා නා හිමිවරුන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ. එමෙන්ම තැපැල් වර්ජනය හේතුවෙන් විශ්‍රාම වැටුප්, වැඩිහිටි දීමනාව ගෙවීමට සහ විදෙස් තැපැල් සේවයද මේ වන විට ඇණ හිට ඇති බවයි. අද දින මෙම කටයුත්ත සිදුකලේ ගැටළු නිරාකරණය කර ගැනීමට රජය සම්බන්ධ කරගෙන කඩිනමින් වැඩකටයුතු කිරීම වෙනුවෙන් බව ඔහු කියා සිටියා.
තමන්ට අවශ්‍ය වන්නේ ලිඛිත පොරොන්දුවක් බවද එසේ නොලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව සිදුකරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඇමතිවරයා මේ දක්වා ලිඛිත පොරොන්දු 4 ක් ලබාදී ඇති බවත් ඒ සියල්ලම කඩවී ඇති බවත් සුදුසු ස්ථානයකදී ලබා දෙන ලිඛිත පොරොන්දුවක් මත තමන් යලි සේවය ඇරඹීමට සුදානම් බව වැඩිදුරටත් කියා සිටියා.
තැපැල් වර්ජනය හේතුවෙන් මේ වනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි රැසක් ගොඩ ගැසී ඇති අතර දිවයින පුරා බොහෝ තැපැල් කාර්යාල පසුගිය සති දෙකේ වසා දමා තිබූ අයුරුද දක්නට ලැබුණා.