Thursday, May 9, 2024

General line - 0115112241

තෝඩුවාවේ කුඩු රැජින බන්ධනාගාරයට

ජූඩ් සමන්ත




“තෝඩුවාවේ කුඩු රැජින” ලෙසින් හදුන්වන සැකකාරියක්ව මෙම මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.එච්.එච්.ජයසිංහ  නියෝග කර තිබෙනවා.

මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූණා.

සැකකාරිය සන්තකයේ තිබී හඳුනා නොගත් මත් පෙති 15 ක්, හෙරොයින් ග්‍රෑම් 1260 ක් සහ ගංජා ග්‍රෑම් 10 ක්ද තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහවැව - තොඩුවාව පදිංචි 34 හැවිරිදි කාන්තාවක්. දරුවන් 05 දෙනෙකුගේ මවක් වන ඇය සැමියා හැර ගොස් ඇති කාන්තාවක් බවයි වැඩි දුරටත් අනාවරණය වී ඇත්තේ. මීට පෙරත් හෙරොයින් මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයට සිර දඬුවම් නියමවී තිබෙනවා. ඇය ඉන් නිදහස් වී පැමිණ ගත වී ඇත්තේ මාස 03 ක් පමණක් බවත් පොලීසිය සඳහන් කළා. සිර දඬුවමින් පසුව නිවසට පැමිණ ඇති සැකකාරිය නැවතත් හෙරොයින් මත් කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට පොලිස් බුද්ධි අංශ විසින් අනාවරණය කර ගෙන තිබෙනවා. එම බුද්ධි තොරතුරු අනුව වැටලීම සිදු කිරීමට කටයුතු කර තිබුණා.

මාරවිල සහකාර පොලිස් අධිකාරී අර්නස්ට් ප්‍රනාන්දු, මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.එදිරිසිංහගේ උපදෙස් සහ මෙහෙයවීම මත මාරවිල පොලීසියේ උප පොලිස් පරීක්ෂක චමෝද් ධර්මප්‍රිය, පොලිස් කොස්තාපල්වරුන් වන (75915) සමන්, (65089) තෙන්නකෝන්,(13978) මාතරආරච්චි, කාන්තා පොලිස් කොස්තාපල් (10091) අමන්දා, පොලිස් කොස්තාපල් (31144) වසන්ත යන නිලධාරීන් විසින් වැටලීම සිදු කර තිබෙනවා.