Thursday, May 9, 2024

General line - 0115112241

අද සිට ක්‍රියාත්මක නව දඩ මුදලට විරුද්ධ වෙන්න සංගම් කිහිපයක් සාකච්ඡා කරයි

ලහිරු කපුගේ




යටිතල පහසුකම් සංවර්ධනය නොකර දඩ මුදල් වැඩි කිරීම අසාධරණ බව බස් සංගමය පවසනවා.  

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ "අපි රජයත් එක්ක සාකච්ඡා කළ ආකාරයට නෙරමයි දැන් දඩ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේ පිළිබඳව අපගේ දැඩි විරෝධය රජයට එල්ල කරනවා. අපේ රටේ තියෙන මාර්ග පද්ධතියේ තත්ත්වයත් එක්ක මේ වැරදි අහඹු ලෙස සිදු වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපි අනෙකුත් සංගම් සමගත් සාකච්ඡා කරමින් ඉන්නවා" යනුවෙනි.

රථ වාහන වැරදි 33ක් සම්බන්ධයෙන් නියම කෙරෙන ස්ථානීය නව දඩ මුදල් අද (15) සිට බලාත්මක වනවා. මීට පෙර ස්ථානීය දඩ පති‍්‍රකාවේ වැරදි 23ක් සඳහා පමණයි ස්ථානීය දඩ නිකුත් කෙරුණේ.

වේග සීමා උල්ලංඝණය වන පරිදි රිය ධාවනයට මෙතෙක් අය කළ රුපියල් දහසේ දඩය රුපියල් 3000 දක්වා ඉහළ දමා තිබෙනවා. ආදායම් බලපත‍්‍රය ප‍්‍රදර්ශනය හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් නොකිරිමේ වරදට අය කළ රුපියල් 500ක දඩ මුදල ඉහළ දමා ඇත්තේ රුපියල් දහස දක්වායි. ධාවනය කරන විට රියදුරු බලපත‍්‍රය රැගෙන යාමට අසමත්වීමේ වරදට අය කෙරෙන නව දඩ මුදල රුපියල් 1000ක්. මාර්ග නීතිවලට අවනත නොවීම, පොලිස් නිලධාරීන්ගේ විධාන සහ සංඥාවලට අවනත නොවීමේ වරදට රුපියල් දෙදහසක දඩ මුදලක් නියම කෙරෙනු ඇති. 

වැඩි කළ දඩ මුදල්වලට එරෙහිව බස් සංගම් සමග සාකච්ඡා කර ඉදිරියේදී වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවයි සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමමේලනය පැවසුවේ. එහි ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් මේ බව සඳහන් කළා.

නව දඩ මුදල් දින 14ක් ඇතුළත ගෙවීමට අසමත්වුවහොත් තවත් දින 14ක අමතර කාලයක් අදාළ දඩ මුදල් ගෙවීමට හිමි වනවා. එම කාලය තුළද අදාළ දඩ මුදල ගෙවීමට අසමත්වුවහොත් එම දඩ මුදල දෙගුණ වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ.