Tuesday, April 30, 2024

General line - 0115112241

මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යැවු මිලියන 78 ක රත්තරන් කොටු වෙයි

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා නීතිවිරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් රැගෙන ගිය රත්ත්‍රන් කිලෝග්‍රෑම් 32.24ක් සොයා ගැනීමට ඉන්දියානු රේගු බලධාරීන් සමත්ව තිබෙනවා. බලධාරින් පවසන්නේ පැය 24 ක් තුල සිදුකළ මෙහෙයුම් තුනකදී මෙම රත්ත්‍රන් තොගය සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

සොයා ගනු ලැබූ මුළු රත්ත්‍රන් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් මිලියන 78 කට ආසන්න වනවා.

ඉන්දිය රේගු බලධාරීන්ට ලද ඔත්තුවකට අනුව චෙන්නායි මන්නාඩි ප්‍රදේශයේදී යතුරුපැදියක් පරික්ෂා කිරීමේදී එහි ගමන් කරමින් සිටි පුද්ගලයා සතු බෑගයේ තිබී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 12.149 ක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

ඉන් අනතුරුව කීලකරලායි ප්‍රදේශයේ සිට චෙන්නායි බලා බස් රථයකින් පැමිණි මගියෙකුගේ ගමන් මල්ලේ තිබී තවත් රත්ත්‍රන් කිලෝග්‍රෑම් 8.1ක් සොයා ගෙන තිබෙනවා.

චෙන්නායි හි ලැගුම්හලක සිදුකළ තවත් මෙහෙයුමකදී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙක් සතුව තිබී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 12ක් සොයා ගැනීමට බලධාරීන් සමත්ව තිබෙනවා. ඔවුන්ට තුත්තුකුඩි සිට එම රත්ත්‍රන් තොගය ගෙනැවිත් දුන් බව කියන කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙක් ද පසුව අත්අඩංගුවට ගනු ලැබුවා. 

මේ අනුව බදාදා (02) රාත්‍රියේ සිට පැය 24ක් තුලදී සිදුකළ මෙහෙයුම් තුනකදී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 32.249 ක් සොයා ගෙන ඇති බවත් මෙම රත්ත්‍රන් ඉන්දියාවට රැගෙන විත් ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට ධිවර යාත්‍රා මගින් බවට සිදුකළ විමර්ෂණයන් හිදී හෙළිවී ඇති බව ඉන්දියානු බලධාරීන් සදහන් කරනවා.

ගතවූ 2017 වසර තුලදී පමණක් ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුව හරහා ඉන්දියාවට රැගෙන ඒමට උත්සහ කළ රත්ත්‍රන් කිලෝග්‍රෑම් 105 ක් ඉන්දියානු රේගු බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනය උපුටා දක්වමින් ද හින්දු පුවත්පත වාර්තා කර සිටිනවා.