Friday, May 3, 2024

General line - 0115112241

ඔහු ලැජ්ජාශීලි දරුවෙක් : ඔසාමාගේ මව වසර 7 කට පසු ප්‍රසිද්ධියේ සිය පුත්‍රයා ගැන කතා කරයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




2011 වසරේදී ඝාතනයට ලක්වූ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සම්බන්ධයෙන් ඔහුගේ මව වසර 07 ක නිහඩතාවය බිඳ හෙලමින් පළමු වරට බ්‍රිතාන්‍ය පුවත්පතකට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ සිය පුත්‍රයා කුඩා කාලයේ සිට ලැජ්ජාශීලි ඉතා යහපත් දරුවෙක් බවත් ඔහු සරසවියේ අධ්‍යාපනය ලබන සමයේදී ඔහුගේ මොලයට විකෘති අදහස් ඇතුලත් කර ඇති බවයි.

1999 වසරේ සැප්තැම්බර් මස 11 වෙනිදා අමෙරිකාවට එල්ලවූ ප්‍රහාරයට වසර දෙකකට පෙර තමා අවසන් වරට ඔසාමා බින් ලාඩන්ව ඇෆ්ගනිස්තානයේදී දුටු බව ඇය මෙහිදී ප්‍රකාශ කර සිටියා.

1980 වසරේදී ආක්‍රමණික සෝවියට් සමුහාන්ඩුවේ හමුදාවන්ට එරෙහිව සටන් වැදීමට ගිය මුල් පෙලේ ඉස්ලාමිය සටන්කාමියෙක් වශයෙන්ද ඔසාමා බින් ලාඩන්ව හදුන්වනු ලබනවා.

ඔසාමා බින් ලාඩන් ජිහාඩ් සටන්කාමියෙක් වශයෙන් නම් කර ඇති බව දැනගත් මොහොතේදී තමන් දැඩිව කණගාටුවට පත්වූ බවත් එවැනි දෙයක් සිදුවනවා දැකීම තම අපේක්ෂාව නොවූ බවත්, ඔහු එවැනි මාර්ගයක් තෝරා ගත්තේ ඇයිද යන්න ගැන සිතා ගැනීමට නොහැකි බව ඔසාමාගේ මව පුවත්පත් සම්මුඛ සාකච්ජාවේදී ප්‍රකාශ කර තිබුනා. 

මේ අතර  සිය පියාගේ මාර්ගයේ ගමන් නොකරන්නැයි හිටපු අල් කයිඩා නායක ඔසාමා බිල් ලාඩන් ගේ පවුලේ ඥාතින් විසින් ඔසාමාගේ ප්‍රියතම පුත්‍රයා වන 29 හැවිරිදි හම්සා ගෙන් ආයාචනා කර තිබෙනවා.

2011 වසරේදී පාකිස්ථානයේදී අමෙරිකානු සීල් බලඝනය විසින් සිදුකළ මෙහෙයුමකදී හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ව ඝාතනය කරනු ලැබුවා.

තම පියාගේ මරණයට අමෙරිකාව වගකිවයුතු බැවින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන මෙන් ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා වන හම්සා සියලුම ඉස්ලාමිය සන්නද්ධ කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරනු ලැබුවා.

මේ වන විට හම්සා බින් ලාඩන් සිය පියාගෙන් පසු හිස්වූ අල් කයිඩා සංවිධානයේ නායකත්වය ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය බලා ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා.

" හම්සා මා ඉදිරියේ සිටිනවානම් මම කියනවා ඔබට දෙවියන් මග පෙන්නාවි. ඔබ කරනා දේ ගැන දෙවරක් සිතන්න. ඔබ ඔබගේ පියාව අනුගමනය නොකරන්න. එසේ වුවහොත් ඔබගේ ජීවිතය බලාපොරොත්තු නොවුණු අදුරකට තල්ලුවී යාවි යැයි" පුවත්පත් සම්මුඛ සාකච්ජාවට සහභාගී වෙමින් ඔසාමාගේ එක් සහෝදරයෙක් ප්‍රකාශ කර සිටියා.

ත්‍රස්තවාදී මතවාද දැරීම හේතුවෙන් මේ වන විට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හම්සා බින් ලාඩන්ව ජාත්‍යන්තර ත්‍රස්තවාදී ලැයිස්තුවට එක් කර තිබෙනවා.