Sunday, May 19, 2024

General line - 0115112241

උතුරු කොරියාවට ගිය දකුණු කොරියා ජනපති සහ බිරිඳ කිම් ජොන්ග් අන් ගුවන්තොටටමවිත් පිළිගනී (PHOTOS)

චම්ලි ඒකනායක - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු සහ දකුණු කොරියානු නායකයෝ උතුරු කොරියාවේ අගනුවර දී හමුවුණා. ඒ අඩාලවී ඇති න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා පිළිබඳ සංවාදයක නිරතවීමේ අරමුණ ඇතිවය.

දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් සහ ඔහුගේ බිරිඳ කිම් ජුන්-සූක් උතුරු කොරියාවට අඟහරුවාදා අද (18) පැමිණියේ තෙදින සංචාරයක් සඳහාය. ගුවන්යානය වෙතම පැමිණි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සහ බිරිඳ අමුත්තන් ඉතා උණුසුම් ලෙස පිළිගත්තා.

උතුරු කොරියානුවන් දහස් ගණනක් මල් අතැතිව නැවත එක්වීමේ ප්‍රීතිය වෙනුවෙන් විවිධ පාඨ කියමින්, නගරය පුරා විවෘත රියකින් චාරිකා කළ නායකයන්ට ප්‍රීතිය පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දශක ගණනාවකට පසු දකුණු කොරියානු නායකයෙක් උතුරු කොරියාවේ අගනුවර සංචාරය කළ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ජනපති මූන් උතුරු කොරියානු නායකයා හමුවූ තෙවෙනි අවස්ථාව මෙය විය. පසුගිය අප්‍රේල් මාසයේ දෙරට දේශසීමාවේදී ඔවුන්ගේ පළමු ඓතිහාසික හමුව පැවැත්විණි.

මෙම හමුවේදී කොරියානු අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික තර්ජන අඩු කිරීමේ ප්‍රයෝගික පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට නායකයින් අපේක්‍ෂා කරනවා. 

මිත්‍රත්වය නැවත ගොඩනගා ගැනීම සහ අමෙරිකාව සහ උතුරු කොරියාව අතර එකඟත්වයක් ඇතිකරලීමට මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීම දකුණු කොරියාවේ අරමුණයි.

උතුරු කොරියාව මෙම වසරේදී දකුණු කොරියාව සහ ඇමරිකාව සමග පෙර නොවූ විරූ අයුරින් සාකච්ඡා මාලාවක් ඇරඹුවද, දෙපාර්ශ්වයම ඉතා සාමාන්‍ය එකඟතාවලට පමණක් එළඹෙමින් වොෂිංටනය සමග පැවති සාකච්ඡා අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අමෙරිකාව සමග සාකච්ඡාවලදී මැදිහත්කරු ලෙස කටයුතු කරමින් අන්තර් කොරියානු සබඳතා වර්ධනය කිරීම දකුණු කොරියානු ජනපතිවරයාගේ අපේක්‍ෂාවයි.