Monday, May 6, 2024

General line - 0115112241

දකුණට අංග සම්පුර්ණ ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයක් (PHOTOS)




Ausway Indoor Cricket Stadium And High Performance Center නමින් අංග සම්පුර්ණ ගෘහස්ත ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයක් පසුගියදා මාතර දී විවෘත්ත කෙරුණා.

ඒ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග මහතාගේ සහභාගීත්වයෙන්. නව මධ්‍යස්ථානයේ ඇති විශේෂත්වය වන්නේ දැනට ලොවපුර ක්‍රිකට් පුහුණුවීම් සඳහා භාවිතා කරන දියුණුතම තාක්ෂණය භාවිතා කිරීමයි.

දැනට කොළඹ ප්‍රධාන පෙළේ පාසැල් වල දරුවන්ට, ප්‍රධාන ක්‍රීඩා සමාජ වලට සහ ජාතික මට්ටමේ කණ්ඩායම් වලට ලැබී ඇති මෙම අවස්ථාව දකුණේ දරුවන්ට ලැබීම අනාගතයේ දී වඩාත් ජවසම්පන්න ක්‍රීඩා පරපුරක් පිලිබඳ බලාපොරොත්තු තැබිය හැකි බව මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියා.

සනත් ජයසුරිය , ඉන්දික ද සේරම් , ප්‍රභාත් නිශ්ශංක , කසුන් රාජිත වැනි ජාතික මට්ටමේ ක්‍රීඩකයන් රැසක් සහ ක්‍රිකට් නාමය ජාත්‍යන්තර වෙත ගෙනගිය රුචිර පල්ලියගුරු වැනි දක්ෂ විනිසුරුවරුන් බිහිකළ මාතර දිස්ත්‍රික්කයට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ නිර්ණයකන්ට හා තාක්ෂණයෙන් බල ගැන්වූ අංග සම්පුර්ණ ගෘහස්ත ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයක් ලැබීම ගැන අතිශය සතුටට පත්වන බව දකුණු පළාත් හිටපු ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා මෙම අවස්ථාවට එක් වෙමින් පැවසුවා.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ සහ ජේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සිය පුහුණු මධ්‍යස්ථානය සමඟ අත්වැල් බැඳගෙන සිටින බව සඳහන් කළ Ausway Indoor Cricket Stadium And High Performance Center හි නිර්මාතෘ ගිහාන් ලංකාතිලක මහතා, අනාගතයේ දී ඵලදායී ක්‍රීඩකයන් බිහි කිරීම වෙනුවෙන් විශිෂ්ඨ ගුණාත්මක භාවයකින් යුතුව මෙම ස්ථානය පවත්වා ගෙන යාම සිය අරමුණ බව පැවසුවා. හෂාන් තිලකරත්න සහ උපුල් චන්දන ද මෙම අවස්ථාවට සහභාගී වුණා.