Thursday, February 13, 2025

General line - 0115112241

ඇල්පිටියේ පොහොට්ටු - ශ්‍රීලනිප ඡන්ද පදනම ඉහළ යද්දී එජාප ඡන්ද පදනම පහළ ගිහින්




ඊයේ පැවැති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම ජනාධිපතිවරණයට පෙර පැවැති ජනමතය උරගා බැලීමක් වීම හේතුවෙන් එය රටේ සියලූම පුද්ගලයින්ගේ අවධානයට යොමුවූණා. 

එහිදී  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගත් ඡන්ද ප‍්‍රතිශතය සියයට 56.31% ක් වූ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය හිිමිකර ගත් ඡන්ද ප‍්‍රතිශතය සියයට 12.7%ක්. 

මෙවර ජනාධිපතිවරණයේදී මෙම පක්ෂ 02 කම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරනවා. ඒ අනුව එම පක්ෂ 02 එක්ව හිමිකර ගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 28, 645ක් වන අතර එය ප‍්‍රකාශිත වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 69. 01% ක ප‍්‍රතිශතයක් වනවා. 

අවසන් වරට ඉකුත් 2011 වසරේ පැවැති ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 19, 954 ක් හිමිවූ අතර එය ප‍්‍රතිශතයක් ලෙස 58.54%  ක්. ඒ අනුව අවසන්වරට පැවැති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම හා සැසඳීමේදී මෙවර එම පක්ෂ 02 වැඩි ඡන්ද 8, 691 ක් ලබාගෙන ඇති අතර ප‍්‍රතිශතයක් ලෙස එම අගය 10.47% ක වැඩිවීමක් වනවා.  

2011 වසරේ පැවැති පළාත් පාලන ඡන්ද විමසීම හා සැසඳීමේදී එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව මෙවර ඡන්ද 314 කින් අඩුවී තිබෙනවා. 2011 වසරේ පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී 30.59% ක ඡන්ද ප‍්‍රතිශතයක් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ අතර මෙවර එම පක්ෂය හිමිකර ගෙන ඇති ඡන්ද ප‍්‍රතිශතය 24.37% ක්. ඒ අනුව එම පක්ෂයට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව පසුගිය මැතිවරණයට සාපේක්ෂව සියයට 6.22% කින් අඩුවී තිබෙනවා. 

ජනතා විමුක්ති පෙරමුණ 2011 වසරේ පැවැති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද 1,100 ක් හිමිකර ගත්තා. එය ප‍්‍රතිශතයක් ලෙස 3.23%ක්. මෙවර ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,435 ක්. 

එය ඡන්ද 1,335 ක වැඩිවීමක් වන අතර ප‍්‍රතිශතයක් ලෙස එම අගය 5.86% ක් වනවා. ඒ අනුව ප‍්‍රතිශතයක් ලෙස  2.63% ක වර්ධනයක් අත්කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව තිබෙනවා.