Friday, March 29, 2024

General line - 0115112241

තණතීරුව හොඳින් දඟ කැවේ – රංගනට වැඩිබර පැටවේ




ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී අද(04) පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ දී ලබා දී ඇති තණතීරුව දඟපන්දු යවන්නන්ට උචිත එකක් බව ක්‍රීඩා විචාරකයන් පවසනවා.

ඒ අනුව පළමු තරගයට ක්‍රීඩා කරන ලද රංගන හේරත්,ලක්‌ෂාන් සඳකැන්, ඩිල්රුවන් පෙරේරා සහ ධනංජය ද සිල්වා යන දඟ පන්දු බළ ඇණිය මෙම තරගය සඳහා ද එක්කළ බවයි වාර්තා වන්නේ.

පල්ලකැලේ තරගයේදී ශතක ලාභී කුසල් මෙන්ඩිස්‌  සහ  ලකුණු 103 කට කඩුලු 09 ක්‌ බිඳ හෙළමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට උරදුන් ප්‍රධාන චරිතයක්‌ බවට පත්වූ රංගන හේරත් පිළිබඳව අද තරගයේ දීත් බලාපොරොත්තු තබා ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරංචි මාර්ග පවසන්නේ.

38 වැනි වියේ පසුවන හේරත් ගාල්ල තණතීරුවේදී අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමග පැවැති තරගයේදී කඩුලු 10 ක්‌ දවා ගැනීමට සමත්වී තිබෙන අතර ඊට පෙර ඉන්දියාව සමග පැවැති තරගයේදීද ලකුණු 48 කට කඩුලු 7 ක්‌ දවා ගනිමින් කැපී පෙනෙන දක්‌ෂතා දක්‌වා තිබෙනවා.

“අවසන් තරගයේ දෙවැනි ඉනිමේදී ඔවුන් හේරත්ගේ පන්දුවලට පහර දුන්නේ තරමක්‌ වෙනස්‌ ආකාරයට. පන්දුවට පහර දෙන සීමාවේ සිට ස්‌වීප් පහර එල්ල කරමින් ඔවුන් ක්‍රීඩා කළා. ඔවුන්ට ලකුණු ලබා ගැනීමේ උවමනාවක්‌ තිබුණේ නැහැ. නමුත් ඔවුන්ගේ ඉතා භයානක පිතිකරුවන් පිරිසක්‌ ඉන්නවා. ඉදිරිපෙළ අය ප්‍රහාරකයන්. කොහොම වුණත් දඟ පන්දුවට මෙහේ පහර දීම ටිකක්‌ අමාරුයි. මෙහේ නුවර වගේ නොවෙයි පන්දුව වැඩියෙන් දඟ කැවෙනවා.”යනුවෙන් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිවුස් ද ඊයේ සඳහන් කර තිබුණා.