Sunday, September 22, 2024

General line - 0115112241

සෝභිත හිමි අපවත් වූ දින මෙය විසුරුවන්න තිබුණා – නිර්මාල් රංජිත්




වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සහ පැවති ආණ්ඩුව පරාජය කිරීමෙහිලා මධ්‍යම පාන්තික උගත් ජන සමාජයට මතවාදී බලපෑමක් කළ කණ්ඩායමේ ප්‍රබලයෙකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක් පිළිබඳ විමසීමට අප ඔහුට කතා කළා.

ප්‍රශ්ණය – ඔබතුමා පුරවැසි බලයේ හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ දැන් නැද්ද?
පිළිතුර – දැන් නැද්ද කියලා ඔබ ඇහුවට මම කොහොමත් පුරවැසි බලය කියන සංවිධානයේ හිටියේ නැහැ.මොකද අයින් වෙන්න මම ඔය පුරවැසි බලය කියන සංවිධානයේ කොහෙත්ම හිටියේ නැහැ.

ප්‍රශ්ණය – ඔව් ඔබ විසින් තබන ලද ෆේස්බුක් සටහනේ තියෙන්නේ පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කියන සංවිධාන එක්ක ඔබේ ගනුදෙනුවක් නෑ කියලා.ඒ කියන්නේ මේ දක්වා තිබුණු සම්බන්ධකම් නෑ කියන එකනේ?ඔබට ඔවුන් සමග තිබුණේ මොන වගේ සම්බන්ධයක්ද? (ගනුදෙනුවක්ද?)
පිළිතුර – මම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපරයත් එක්ක කටයුතු කළා.මතවාදී වෙනසක් ඇති කිරීම සහ ඒ වෙනුවෙන් සිවිල් සමාජය බලගැන්වීමේ වැඩසටහනේ අපි හිටියා.ඉදිරියේදී ඔවුන්ගේ කටයුතු වලට මගේ දායකත්වයක් නොලැබෙන එකයි මගේ තීරණය.

ප්‍රශ්ණය – ගණුදෙනු එකවරම නතරවුණේ?
පිළිතුර – සයිටම් අර්බුදය හමුවේ ඔය සංවිධාන දෙකේම නියෝජිතයෝ සහ ප්‍රබලයෝ කටයුතු කළේ සයිටම් එක ඉතා යහපත්ය කියන ස්ථාවරයේ ඉඳන්. මම ඉන්න ප්‍රතිපත්තිය ඊට වෙනස් එකක්.අධ්‍යාපනය පෞද්ගලීකරණය වීමට එරෙහිව මම පෙනී ඉන්නවා.

ප්‍රශ්ණය – සයිටම් එක ගැන ප්‍රශ්ණය ඔය සංවිධාන වල ඉන්න අයගේ පෞද්ගලික අදහසක් වෙන්න බැරිද?
පිළිතුර – මේ සංවිධාන දෙකම නියෝජනය කරපු අය පහුගිය සමයේ සයිටම් එක වෙනුවෙන් දැඩිව පෙනී සිටියා, අදහස් පලකළා.ඔවුන් එසේ පෙනී සිටියේ පුරවැසි බලය හෝ සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කියන සංවිධාන නියෝජනය කරමින් නෙමෙයි.නමුත් ඔවුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපරයේ සහ පුරවැසි බලයේ විශාල කාර්යභාර්යක් ඉටුකරන පුද්ගලයින්.ඉතින් ඒගොල්ලෝ පෙනී ඉන්න සයිටම් එකට මම විරුද්ධයි.සයිටම් එකට විරුද්ධ ව්‍යාපරයේ මම ඉන්නවා.අධ්‍යාපනය සම්බන්ධයෙන් සිටිය යුතු ස්ථාවරය මට ඉතා වැදගත්.අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට මැදිහත් වන ව්‍යාපාරයක කොටස්කරුවෙකු වන්නට මට බැහැ.

ප්‍රශ්ණය – ඔබේ මතවාදයට ඔවුන් සවන් නොදුන් බවයි පෙනෙන්නේ.සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය තුළ ඔබ ඉන්නවා.අනාගතයේදී ඔබේ ගණුදෙනුව කොහොමද ඒ අය සමග?
පිළිතුර – ජනාධිපතිවරණය අවස්ථාවේ අපි එම ව්‍යාපාරය ආරම්භ කළා.නමුත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූ අවස්ථාවේ මගේ මතය වුණේ ‘‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසුරුවා හැරිය යුතුයි‘‘ යන්නයි.

සටහන – මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සමන් රත්නප්‍රිය, ගැමුණු විජේරත්න, ගාමිණී වියන්ගොඩ ඇතුළු පිරිසක් පසුගිය දිනවල අදහස් පළකර තිබුණා.ඒ අතුරින් කොළඹ පැවති සම්මන්ත්‍රණ කිහිපයකදීද සයිටම් විශ්ව විද්‍යාලයට විරුද්ධ වීමේ සාධාරණ හේතුවක් නොමැති බව දක්වමින් මොවුන් අදහස් පලකළා.

Capture