Sunday, April 28, 2024

General line - 0115112241

මෝදි - පුටින් හමුව හරහා ලෝකයට දුන් වෙනස්ම පණිවිඩය




ලොව පුරා දේශපාලන විචාරකයන්ගේ අවධානය දිනාගනිමින් ඉන්දු - රුසියා වාර්ෂික සමුළුව මෙවර නවදිල්ලියේ දී පැවැත්වුණා. මෙම සමුළුව වරින් වර ඉන්දියාවේදී සහ රුසියාවේදී පවත්වනු ලබන අතර මෙවර පැවැත්වුණේ විසිඑක්වන වතාවටයි.

මෙවර සමුළුව අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර වාර්ෂික සංවාදයකට එහා ගිය ඉන්දු-රුසියානු සබඳතාවල අනාගත දිශානතිය තීරණය කිරීමේ සංවාදයක් වුණා. විශේෂයෙන්ම වෙනස්වන ගෝලීය පරිසරයක් තුළ මෙම සමුළුව සාර්ථක එකක් ලෙස හැඳින්වීමේ සියලු අංගයන්ගෙන් සමන්විත වුණා.

මෝදි සහ පුටින් අතර මුහුණට -- මුහුණ සාකච්ඡාවට අමතරව දෙරටේ ආරක්ෂක සහ විදේශ අමාත්‍යවරු ඔවුන්ගේ විවිධ අමාත්‍යාංශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සහ සහයෝගීතාවය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන්ද සාකච්ඡා කළා. දෙපාර්ශ්වයේම නියෝජිතයින් ගෝලීය සහ කලාපීය ගැටළු පිළිබඳව ඔවුන්ගේ ඉදිරිදර්ශන බෙදාගත් අතර වර්තමාන භූ දේශපාලන නැඹුරුවීම් තිබියදීත්,  ඉන්දු-රුසියානු සබඳතාවන්හි ඇති ශක්තිමත් හා තිරසර බව මෙවර සමුළුවේදී ප්‍රදර්ශනය කෙරුණා.

සමස්තයක් වශයෙන්, ආරක්ෂක සිට අභ්‍යවකාශ ගවේෂණය දක්වා විවිධ අශයන්ට අදාළව ගිවිසුම් 28 කට දෙපාර්ශ්වය  අත්සන්  තැබුවා. මෙම ගිවිසුම් මගින් පෙන්නුම් කෙරුණේ දෙපාර්ශවය අතර සහයෝගීතාවයේ සුවිශාල බවයි.

ඉන්දීය පාර්ශවයෙන්, ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, චීනය හා රුසියාව අතර සබඳතා සමීප බව දැන දැනම, ඉන්දියාවේ උතුරු දේශසීමාවේ චීන භීතිය මතු කළා. ඔහු ප්‍රකාශ කළේ, 2020 ගිම්හානයේ මුල් භාගයේ සිට අපගේ උතුරු දේශසීමාවේ වි⁣ටින් විට ගැටුම් ඇති වූ බවයි. ඉන්දියාවේ අපේක්ෂාවන් සහ අවශ්‍යතාවලට සංවේදී සහ ප්‍රතිචාර දක්වන හවුල්කරුවන් සොයන අතරම ඉන්දියාවට එම අභියෝගවලට මුහුණ දීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඉන්දියාව, චීනය සතුරෙකු ලෙස සලකන බවත්, එම ගැටලුවලදී රුසියානු සහයත්, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවයේ අඛණ්ඩ පැවැත්මත් අපේක්ෂා කරන බව රුසියානුවන්ට පැවසීම එහි අරමුණ වුණා.

රුසියාව,  එක්සත් ජනපදය හා යුරෝපය සමග රුසියානු සබඳතා අවිනිශ්චිත කෙරුණු යුක්රේන අර්බුදය පිලිබඳ සිය ඉදිරි දර්ශනය බෙදාහදා ගත්තා. අනාගතයේදී තමන් අනුගමනය කරන ඕනෑම ක්‍රියාමාර්ගයක දී ඉන්දියාව තමන් වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි රුසියාව අපේක්ෂා කරන බව ඉන් පැහැදිලි වනවා. 

භූ දේශපාලනික වශයෙන් රටවල් දෙකම ප්‍රතිවිරුද්ධ දිශාවලට පාවී ඇති බව නොරහසකි. චීනය විසින් ප්‍රතික්ෂේප කරන ලද ඉන්දියාව එක්සත් ජනපදය දෙසට ආකර්ෂණය වී Quad හි ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත්ව ඇති අතර එක්සත් ජනපදය විසින් සම්බාධක පනවන ලද රුසියාව චීනයට සමීප වී තිබෙනවා. එක්සත් ජනපදය රුසියාවෙන් සහ චීනයෙන් ඈත් වීමත් සමඟ ඔවුන් එකිනෙකා හා සමීප වීම ස්වාභාවික බවට විවාදයක් නොමැත. බටහිර රටවල් චීන ශීත ඍතු ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රිකව වර්ජනය කරන බව ප්‍රකාශ කරන අතරේ, ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වන ලෙස කළ ආරාධනය ව්ලැඩ්මිර් පුටින් පිළිගෙන තිබෙනවා. ඉන්දියාව චීනය නොසලකාහරින අතරේ රුසියාව ඔවුන්ට සහාය දක්වයි. කෙසේ වෙතත්, මෙම භූ දේශපාලන ප්‍රතිවිරුද්ධතා ඉන්දු - රුසියා සමුලුව⁣ට බලපෑමක් සිදු කළේ නැත.

සම්බාධක පනවන බවට එක්සත් ජනපදය කළ තර්ජනය නොතකා ඉන්දියාව S-400 මිසයිල පද්ධතිය මිලදී ගැනීමේ තීරණයේ එල්බ සිටීමෙන් පෙන්නුම් කළේ දිගුකාලීන ඉන්දු-රුසියානු සබඳතා කඩාකප්පල් කිරීමට ඉන්දියාව කිසිව්ටෙක එක්සත් ජනපදයට ඉඩ නොදෙන බවයි. AK-203 ප්‍රසම්පාදන ගිවිසුම අත්සන් කිරීම සහ තවත් වසර 10 කට යුධ තාක්ෂණික සහයෝගීතාව දීර්ඝ කිරීම මගින් මෙම සබඳතා තවදුරටත් තහවුරු වුණා. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් විසින් ඉන්දියානු ස්ථාවරය ධනාත්මකව අගය කරමින් පැවසුවේ  “අපගේ ඉන්දියානු මිතුරන් ඔවුන් ස්වෛරී රටක් බව පැහැදිලිව සහ ස්ථිරව පැහැදිලි කළා. කවරෙකුගෙන් ආයුධ  මිලදී ගන්නේද යන්න සහ මෙම ක්ෂේත්‍රයේ සහ වෙනත් ක්ෂේත්‍රවලදී ඉන්දියාවේ හවුල්කරුවෙකු වන්නේ කවුරුන්ද යන්න ඔවුන් තීරණය කරනු ඇති.  දැනට ඉන්දියානු ආරක්ෂක අංශ භාවිත කරන රුසියානු යුද උපකරණවල අමතර කොටස් නිෂ්පාදනයට සහාය දැක්වීමට රුසියාව ගත් තීරණය දෙරටේ සබඳතාවල විශ්වසනීයත්වය තහවුරු කරනු ලැබුවා.

ඇත්ත වශයෙන්ම, Quad හි සාමාජිකයෙක් ලෙස ඉන්දියාවේ භූමිකාව සහ ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රුසියාවට ඇත්තේ වෙනස මතයක්. ලැව්රොව්, මාධ්‍ය හමුවේ සඳහන් කළේ, අපි ඉන්දු-පැසිෆික් උපාය මාර්ග යන සටන් පාඨය යටතේ එක්සත් ජනපද ක්‍රියාකාරකම් පිළිබඳව අපගේ බරපතල කනස්සල්ල ප්‍රකාශ කළ  බවයි. එමෙන්ම එක්සත් ජනපදය කලාපයේ සුවිශේෂී බලයක් නිර්මාණය කරගනිමින් සිටින බවද රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවා. මෙම ප්‍රශ්නය මතු වූ සහ සාකච්ඡා කළ පළමු අවස්ථාව මෙය නොවේ. ජයශංකර් අවස්ථා කිහිපයකදීම ඉන්දියානු මතය නැවත නැවතත් ප්‍රකාශ කර ඇති නමුත් මතභේදය තවමත් පහව ගොස් නැතත්, රුසියාව සහ ඉන්දියාව අතර වර්ධනය වන සබඳතාවලට ඉන් කිසිදු බලපෑමක් එල්ලවන බවක් පෙනෙන්ට නැහැ.

ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එකිනෙකා අගය  කළ දෙරටේ නායකයන් දෙපළ එකිනෙකට සහයෝගය ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ ඉන්දියාව සහ රුසියාව අතර සම්බන්ධය සැබවින්ම අන්තර් රාජ්‍ය මිත්‍රත්වයේ අද්විතීය සහ විශ්වාසදායක ආකෘතියක් බවයි. 

“අපි ඉන්දියාව මහා බලවතෙකු, මිත්‍රශීලී ජාතියක් සහ කාලය විසින් තහවුරු කළ මිතුරෙකු ලෙස දකිමු යැයි ව්ලැඩ්මිර් පුටින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියා. දෙරට අතර සබඳතා වර්ධනය වෙමින් පවතින අතර එය අනාගතයේදී තවදුරටත්  සුබදායී වනු ඇතයි පුටින් වැඩිදුරටත් පැවසුවා.

ඇෆ්ගනිස්ථානයේ අනාගත අවස්ථා, මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදය ඇතුළු ත්‍රස්තවාදයේ නැඟීම්, සහ බටහිර අසෝවා හි වර්ධනය වන භූ දේශපාලනික උණුසුම ඇතුළු බහුවිධ පොදු කාරණා සම්බන්ධයෙන්ද ඉන්දු - රුසියා වාර්ෂික සමුලුවේ අවධානයට ලක් වුණා. දැනට සැලකිය යුතු තරම් පහලමට්ටමක පවතින ද්විපාර්ශ්වික වෙළඳාම වර්ධනය කරගැනීමේ ක්‍රියාමාර්ග ද අවධානයට ලක් වූ ප්‍රමුඛ ක්ෂේත්‍රයන්ගෙන් එකක්. මීළඟ සමුළුව සඳහා ලබන වසරේ රුසියාවේදී හමුවීමට නායකයින් දෙදෙනා එකඟතාව පළ කළා.

සමස්තයක් ලෙස මෙම සමුළුව ලොව⁣ට හඬගා කියූ කාරණා කිහිපයකි. පළමුව, පුටින් COVID-19 වසංගතය ආරම්භයේ සිට රාජ්‍ය සංචාරයක නිරත වූ දෙවන අවස්ථාව මෙය වන අතර ඉන් පැහැදිලි වන්නේ ඉන්දියාව සමඟ ඇති සබඳතාවලට ඔහු ලබා දෙන වැදගත්කමයි. දෙවනුව, විවිධ කඳවුරුවල සිටියද, ඉන්දු-රුසියානු සබඳතා ස්ථාවර වන අතර අනාගතයේදී එය දිගටම වර්ධනය වනු ඇත යන්නයි. තෙවනුව, රටවල් දෙකම, ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ නැඹුරුව තිබියදීත්, ගෝලීය තලයේ එකිනෙකාට සහය ලබා දෙනු ඇති. සිව්වනුව, වෙනස්කම් පසෙක තබා ජාතීන් දෙකට එකමුතුව කටයුතු කළ හැකි පොදු කරුණු රාශියක් තිබෙනවා. අවසාන වශයෙන්, නායකයින් අතර ඇති ප්‍රසාදය සහ විශ්වාසය මත සබඳතාවන්හි ස්ථාවරත්වය සහතික කරනු ඇති. 

සාරාංශයක් වශයෙන්, මෙවර සමුළුව පෙන්වා දුන්නේ ඉන්දු-රුසියානු සබඳතා තවදුරටත් තහවුරු වූ බවය.