Saturday, April 27, 2024

General line - 0115112241

යූනියන් ඇෂුවරන්ස් සමාගම නවතම තාක්ෂණය සමගින් රක්ෂණ ක්ෂේත්‍රය ජයගනී




යූනියන් ඇෂුවරන්ස් සමාගම පසුගිය කාලය තුළ තම මෙහෙයුම් හා සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා, අතිනවීන තාක්ෂණික විසඳුම් භාවිතයට ගැනීමට කටයුතු කළේ ය. මේ නිසා මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ පෙරමුණ ගැනීමට එම සමාගම මේ වනවිටම සමත් වී ඇති අතර, එය ක්ෂේත්‍රයේ අනෙකුත් සමාගම් වලටද ආදර්ශයක් බවට පත්වී ඇත. මෙම තාක්ෂණික වැඩසටහන් අතරින් ප්‍රමුඛ පෙළේ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරන ලද්දේ යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ එහි මවු සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් අතර හවුල්කාරීත්වයන් වශයෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා ප්‍රකාශ කළේ, මෙම වැඩසටහන් නිසා මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ඩිජිටල් නවෝත්පාදනයේ පුරෝගාමියෙකු බවට පත්වීමට සමාගමට හැකියාව ලැබුණු බවයි.

“මෙහිදී අප ක්‍රියාත්මක කළ වැඩසටහන් දෙකක්, එනම් Clicklife වැඩසටහන සහ ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ වැඩසටහන පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. Clicklife යනු සාම්ප්‍රදායික රක්ෂණ ක්‍රියාවලි ඩිජිටල්කරණය කිරීම සඳහා අප හඳුන්වා දුන් සුවිශේෂී ක්‍රමවේදයක්. රක්ෂණ මිලදී ගැනීම කළමනාකරණ කිරීම සහ හිමිකම් මුදල් ඉල්ලීම් ඉදිරිපත් කිරීම ඇතුළු බොහෝ දේ ඒ ඔස්සේ සිදුකිරීමට පුළුවන්.” ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

Clicklife යනු මේ ආකාරයට කාර්යක්ෂම ලෙස රක්ෂණ සේවාවන් ලබාදිය හැකි පරිදි සැලසුම් කර මෙරට වෙළඳපොළට හඳුන්වා දුන් ප්‍රථම ජංගම දුරකථන යෙදවුමයි. තම ජංගම දුරකථන භාවිතයෙන් රක්ෂණ සම්බන්ධ කටයුතු කළමනාකරණය කරගැනීමට රක්ෂණ හිමියන්ට අවස්ථාව සලසා දෙන එම යෙදවුම, මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකිරීමට සමත් විය.

එමෙන්ම නවතම ඩිජිටල් තාක්ෂණයන් හා දත්ත ප්‍රයෝජනයට ගනිමින්, තමන් සමග එක් වී ප්‍රාරක්ෂණය සම්බන්ධ නවීනතම තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සමාගම නවක සමාගම් වලට ආරාධනා කළේ ය. ජූඩ් ගෝම්ස් මහතා පවසන්නේ, මෙම තාක්ෂණික විසඳුම් ඉදිරියේදී සමාගමේ මූලික ඩිජිටල් මෙහෙයුම් ආකෘතියේ අනිවාර්ය අංග බවට පත්වනු ඇති බවයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ ක්ෂණිකව අවදානම් තක්සේරු කිරීමට හැකිවීම මගින් වඩාත් කාර්යක්ෂම ලෙස රක්ෂණ නිකුත් කිරීම සිදුකළ හැකි වනු ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මේ අතර යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන තොරතුරු නිලධාරී හර්ෂ සේනානායක මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වශයෙන්, යූනියන් ඇෂුවරන්ස් සමාගම ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට වූ සේවාවක් ලබාදිය හැකි ක්‍රමවේදයන් හඳුන්වා දීමට නිරන්තරයෙන් කටයුතු කරන බවයි. 

නවතම මූල්‍ය-තාක්ෂණික ප්‍රවණතා සහ සෞඛ්‍ය සේවා ප්‍රවණතා ඒකාබද්ධ කරමින් නවතම හඳුන්වා දීම් සිදුකිරීම යූනියන් ඇෂුවරන්ස් සමාගමේ තවත් බලාපොරොත්තුවකි. ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් තවමත් රක්ෂණ මිලදීගෙන නොමැති අතර, එම අඩුපාඩුව යම්තාක් දුරකට හෝ පියවීමට මෙය මහෝපකාරී වනු ඇත. මෙම අරමුණ මුල්කරගෙන, රක්ෂණ බෙදාහැරීම් කටයුතු වලදී භාවිතා කළ හැකි නව ක්‍රමවේදයන් සකස් කිරීම සඳහාද නවක තාක්ෂණික සමාගම් වලට ආරාධනා කිරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ.

රක්ෂණ සැලසුම් ප්‍රාරක්ෂණය සම්බන්ධයෙන් වඩාත් ඉක්මනින් නිවැරදි තීරණය වලට එළඹීමට නම්, ගුණාත්මක දත්ත නොපමාව ලබාගැනීමේ හැකියාව තිබිය යුතු ය. එමගින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන ජීවිත රක්ෂණ හා සෞඛ්‍ය රක්ෂණ පිරිනැමීමේ ක්‍රමවේදයන් නිර්මාණය කළ හැකි වේ.

2025 වසර වනවිට, නවීන තාක්ෂණික සෞඛ්‍ය පළඳනා බිලියන ගණනක් භාවිතයේ පවතිනු ඇතැයි ගණන් බලා ඇත. මෙමගින් වඩාත් පුළුල් දත්ත එකතූන් නිර්මාණය වනු ඇති අතර, එම දත්ත භාවිතා කිරීම මගින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන සහ, එම අවශ්‍යතාවන්ට අනුකූලව මිල නියම කළ රක්ෂණ හඳුන්වා දීමට සමාගම් වලට හැකියාව ලැබෙනු නිසැක ය.

එමෙන්ම COVID-19 ව්‍යාප්තියෙන් පසුව එළඹෙන ලෝකය තුළ, මූල්‍ය සේවා සමාගම් සහ මූල්‍ය-තාක්ෂණ සමාගම් අතර හවුල්කාරීත්වයන් වඩාත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට සමගාමීව විවෘත නවෝත්පාදනයන් දිරිගන්වමින්, වඩාත් සාර්ථක මූල්‍ය-තාක්ෂණික පද්ධතීන් රට තුළ නිර්මාණය කිරීමට දායක වීමට තමන් බලාපොරොත්තු වන බව යූනියන් ඇෂුවරන්ස් සමාගම පවසයි.

මෙම උත්සාහයන් තුළ John Keells X වැඩසටහන සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ. John Keells X (JKX) යනු, නවක ව්‍යාපාර වලට අත්වැලක් වෙමින් නවෝත්පාදන දිරිගැන්වීම සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් 2016 වසරේදී ආරම්භ කරන ලද වැඩසටහනකි. රක්ෂණ ක්ෂේත්‍රය ඇතුළුව මෙරට ක්ෂේත්‍ර හා කර්මාන්ත රැසකට වැදගත් වන නවෝත්පාදන සිදුකිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණක් වී තිබේ.

විවෘත නවෝත්පාදනය ඔස්සේ නවක ව්‍යාපාර දිරිමත් කිරීමට JKX වැඩසටහන උත්සාහ දරයි. ක්‍රමානුකූලව වර්ධනය වෙමින් සාර්ථක සමාගම් බවට පත්වීම සඳහා අවශ්‍ය අරමුදල් හා පුහුණුව ලබාගැනීමට මෙන්ම නිසි සම්බන්ධතා ගොඩනංවා ගැනීමට එම සමාගම් වලට අත්වැලක් වීමට එම වැඩසටහන සූදානමින් සිටී. මෙය රක්ෂණ ක්ෂේත්‍රය ඇතුළුව සමස්තයක් ලෙස රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයට නවෝත්පාදන රාශියක් හඳුන්වා දීමේ හැකියාව සහිත සුවිශේෂී වැඩසටහනකි.

JKX වැඩසටහන යටතේ, යූනියන් ඇෂුවරන්ස් සමාගම ඇතුළුව ජෝන් කීල්ස් සමූහයේ සමාගම් වල තාක්ෂණයන් හා පළපුරුද්ද උපයෝගී කරගනිමින් නවෝත්පාදනයන් සිදුකිරීමට නවක ව්‍යාපාර වලට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ. මේ ඔස්සේ මහා පරිමාණයෙන් විවෘත නවෝත්පාදනයන් සිදුකළ හැකි ගෝලීය පදනමක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වී ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2021 දෙසැම්බර් මාසය වන විට රු. බිලියන 17.3 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.8 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 228% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.