Wednesday, May 8, 2024

General line - 0115112241

චීනයේ කොවිඩ් ශුන්‍ය සංකල්පය සාර්ථකද?




කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ සති ගණනාවකට පසු චීනයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වසර දෙකකට පසු යළි පන්දහස ඉක්මවා තිබෙනවා.  
 

ලෝකයම සීග්‍ර  ව්‍යාප්තියක් පෙන්වන කොරෝනා වෛරසයේ නව ප්‍රභේද සමග සටන් කරමින් සිටි මොහොතේ පවා චීනය සිය දේශසීමා වසා දමා දූපතක් ලෙස ක්‍රියා කළේ ජනගහනයෙන් බහුතරයකට වෛරසයට ළං වීමටවත් අවස්ථාවක් නොතබමින්.  
 

මාසයක් පමණ කාලය තුළ සියල්ල උඩු යටිකුරු වුණේ  වූහාන්වලින් ඇරඹි පළමු රැල්ල 2020 දී මුලුමනින්ම පාලනය කිරීමෙන් පසු පළමුවරට රටපුරා කොරෝනා ව්‍යාප්තියේ සීග්‍ර නැග්මක් පෙන්නුම් කිරීමත් සමගයි.
අවසන් දින 3 තුළ නව ආසාදිතයන් 12,000ක් වාර්තා වී ඇතැයි පවසන සෞඛ්‍ය අංශ ඉහළ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන ඔමික්‍රොන් ප්‍රභේදය ද හඳුනාගෙන ඇති බව නිවේදනය කළා. 
 

බීජිං, ෂැංහැයි සහ ෂෙන්ජෙන් වැනි ප්‍රධාන නගරවලින් පවා නව ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වෙමින් ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීන් පවසනවා. 
 

වූහාන්වලින් වෛරසය ආරම්භ වූ කාලයට පසු ප්‍රථමවරට සමස්ත පළාතක්ම අගුලු දැමීම සටහන් කරමින් මිලියන 24ක් වෙසෙන ජිලීන් (Jilin)  මුළුමනින්ම අගුලු දමා තිබෙනවා. 
 

පසුගිය සෙනසුරාදා ජිලින් (Jilin) පළාතෙන් කොවිඩ් මරණ 2ක් වාර්තා වූ අතර චීනයෙන් කොවිඩ් මරණ වාර්තා වූයේ වසරකට පමණ පසුවයි. 
 

පළමු හා දෙවන රැල්ලේ දී ආසාදිතයන් ඉතා සුලු පිරිසක් වාර්තා වූ හොංකොං රාජ්‍යයෙන් මේ වන විට දෛනිකව ආසාදිතයන් 30,000ක් හා මරණ 200ක් පමණ වාර්තා වනවා.

එහි සෞඛ්‍ය පද්ධතිය පවා බිඳ වැටී අතර රෝහල්ගත විය යුතු ආසාදිතයන්ට රෝහල් ධාරිතාව ඉක්මවා යෑම හේතුවෙන් ඉඩ පහසුකම් නොමැතිව ඒ අවට දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින අයුරු දැක්වෙන ඡායාරූප විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එය පසුගිය වසර දෙක තුළ හොංකොං රාජ්‍යය කිසි විටෙක අත් නොවිඳි තත්ත්වයක්.

බිලියන 1.4ක ජනගහනය සහ ලෝක දත්ත හා සැසඳීමේදී මෙම සංඛ්‍යා කුඩා වුවත් චීන කොමියුනිස්ට් පක්ෂය සිය පාලනයේ සාර්ථකත්වයේ සලකුණක් ලෙස කොවිඩ් පැතිරීම පාලනයට පුළුල් ප්‍රචාරණයක් ලබා දුන්නා. එවැනි පසුබිමක වෛරසයේ නව ව්‍යාප්තිය දේශපාලන අභියෝගයක්.

රෝගය පාලනය කිරීම සඳහා චීනය යළිත් ඔවුන්ට සුපුරුදු ක්‍රමවේද අනුගමනය කරමින් සිටිනවා. 

මිලියන ගණනක් ජනතාව වෙසෙන ප්‍රදේශ අගුලු දැමීම, තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් වන ෂෙන්ජෙන් හි කර්මාන්ත ශාලා වසා දැමීම, රෝගයේ ඉහළ ව්‍යාප්තියක් පෙන්වන ජිලින් ( Jilin) පළාතේ නව රෝහල් පහසුකම් ඉදිකිරීම හා ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීම ඒ අතුරින් ප්‍රධානයි.

එමෙන්ම සියලු ආසාදිතයන්  රෝහල්ගත වීම අනිවාර්ය  කරමින් පනවා තිබූ රෙගුලාසි ලිහිල් කිරීමට ද පසුගිය දා චීන සෞඛ්‍ය අංශ පියවර ගත්තා. එය සිය දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා යෑම වැලැක්වීමට ගත්  පියවරක් ලෙස හඳුනා ගත හැකියි.

ඊට අමතරව පසුගිය කාලය තුල ජනතාවගේ ඉහළ සහයෝගයක් ලැබුණු ශුන්‍ය කොවිඩ් සංකල්පය සම්බන්ධයෙන් ජනතාවගේ ඉවසීම ඉක්මවා යන ලකුණුද පෙන්නුම් කරමින් තිබෙනවා.

මේ වන විට චීන බලධාරීන්ට විකල්ප කිහිපයක් පමණක් ඉතිරිව තිබෙනවා.

වසර දෙකක් පුරා චීන බලධාරීන් අවධානය යොමු කළේ වෛරසය සිය දේශසීමාව අතික්‍රමණය වැලැක්වීම සඳහායි.

නමුත් දැන් ශුන්‍ය කොවිඩ් සංකල්පය කොතරම් තිරසර දැයි ප්‍රශ්න සහගතයි.

චීනය කොවිඩ් සමග ජීවත්වීමේ විකල්පය සඳහා තවමත් සූදානම් නැතැයි විශේෂඥයින් පෙන්වා දෙන්වා.

ෂැංහයි වෛද්‍ය Zhang Wenhong, පසුගිය සතියේ මෙම උභතෝකෝටිකය ගැන සඳහන් කරමින්, සූදානම් විය යුතු කිසිවකට චීනය සූදානම් වී නැතැයි Caixin ව්‍යාපාරික සඟරාවට ලිපියක් සපයමින් කියා සිටියා.

චීනය සිය ජනතාව වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අතිමහත් උත්සාහයක් දැරූ බවට විවාදයක් නැහැ.  

වාර්තාගත වේගයකින් එන්නත් නිෂ්පාදනය කළ චීනය මාත්‍රා බිලියන 2.8ක් 2021 වසර තුළ දී පමණක් සිය ජනතාවට ලබා දුන් අතර එය සැලකෙන්නේ ඉතිහාසයේ ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහන ලෙසයි.

කෙසේ වෙතත් චීනයේ සමස්ත එන්නත් කිරීමේ ප්‍රතිශතය 87%ක් වන අතර, වැඩිහිටියන් අතර සහ විශේෂයෙන්ම වයස අවුරුදු 80න් ඉහළ වඩා වැඩි අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය එක්සත් ජනපදය හෝ බ්‍රිතාන්‍යය වැනි රටවලට වඩා පසුගාමී වන්නේ මෙම කණ්ඩායම් සඳහා චීන එන්නත් වැඩසටහන්වල ප්‍රමුඛත්වය නොදැක්වූ බැවිනි.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ දත්තවලට අනුව වයස අවුරුදු 60ට වැඩි චීන ජාතිකයින් මිලියන 40කට තවමත් එන්නතක් ලැබී නැහැ.

බූස්ටර් මාත්‍රාවක් ලෙස භාවිතා කළ හැකි විදේශීය mRNA එන්නතක් අනුමත කිරීමට ඇති අකමැත්ත ද  චීනයේ ගැටලුව තවත් උග්‍ර කරවන්නක්.

ඒ ජර්මනියේ BioNTech එන්නත මාත්‍රා මිලියන 100ක් පමණ ලොව පුරා බූස්ටර් මාත්‍රවාක් ලෙස යොදා ගෙන ඇති පසුබිමකයි.

“BioNTech එන්නත අනුමත නොකිරීම වෛරසයෙන් පරිණාමය වීමට චීන ප්‍රතිපත්තියට මග හැරුණු අවස්ථාවක් ද විය,” සෞඛ්‍ය ආරක්ෂණ විශේෂඥ මහාචාර්ය නිකලස් තෝමස් CNN වෙත පවසා තිබුණා.

“ඔවුන් පසුගිය වසරේ BioNTech එන්නත අනුමත කළේ නම්, චීනය ඔවුන්ගේ පෙර එන්නත් වැඩසටහන සමඟ යොදවා ඇති ආකර්ෂණීය සම්පත් ලබා දුන්නේ නම්, ඔවුන් දැන් ඔමික්‍රොන්  තර්ජනයට මුහුණ දෙනු ඇතැයි සිතිය නොහැක," ඔහු පෙන්වා දෙනවා.

චීනය මේ වන විට දේශිය වශයෙන් mRNA එන්නත් කිහිපයක් සංවර්ධනය කරමින් ඇති නමුත් ඒවාට අනුමැතිය ලැබෙන්නේ කවදාද යන්න නිශ්චිත නැහැ.

මෙම අවදානම් වඩාත් සංකීර්ණ වන්නේ චීනයේ බොහෝ වැඩිහිටියන් සෞඛ්‍ය පහසුකම් ප්‍රධාන නගරවලට වඩා සැලකිය යුතු ලෙස අඩු දියුණුවක් ඇති ගම්බද ප්‍රදේශවල ජීවත් වීමයි. 

එමෙන්ම බොහෝ බටහිර රටවලට වඩා බෙහෙවින් පහත වැටුණු එහි දැඩි සත්කාර ඒකක ධාරිතාව නිසා බරපතල තත්තවයේ පසුවන රෝගීන් සමඟ කටයුතු කිරීමට චීනයට ඇති හැකියාව ද එතරම් ඉහළ නැහැ.

චීනය මුහුණ දෙන ගැටළු ඔවුන්ට පමණක් සීමා වූවක් නොවේ. ලොව පුරා රටවල් කොවිඩ් -19 සමඟ සටන් කර ඇත්තේ වැඩිහිටියන්ගේ අඩු එන්නත් අනුපාතයක් සහ දුර්වල සෞඛ්‍ය පද්ධති සමගිනි.

චීනය, දැඩි උපක්‍රම මගින් මෙතෙක් ජනතාවට වෛරසයේ නරකම බලපෑම්වලින් මිදීමට ඉඩ දී ඇති හෙයින්, විශේෂඥයින් පවසන්නේ එම පියවර ලිහිල් කිරීමෙන් කම්පනයක් ඇති විය හැකි බවයි.

මේ වන විට චීන ජනතාව සහ විශේෂඥයින් “වෛරසය සමඟ ජීවත් වීම” සඳහා ලෝකයේ සෙසු රටවල ප්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට පටන් ගෙන ඇති ලකුණු දක්නට ලැබෙනවා.

රෝගයේ අනතුරුදායක බව දිගින් දිගටම ඉස්මතු කර වෙනත් රටවල වසංගත ප්‍රතිචාර දැක්වීමේ උත්සාහයන් අවතක්සේරු කර ලෙස සැලකුවහොත්, එයින් මහජනතාව තුළ ඇති බිය පහව නොයන අතර එය ශුන්‍ය කෝවිඩ් උපාය මාර්ගයකින් ඉවත් වීම අසීරු වීමට හේතු වන බවත් සෞඛ්‍ය විශේඥයින් පෙන්වා දෙනවා.