Sunday, April 28, 2024

General line - 0115112241

විශ්‍රාමික ජෙනරාල්වරයකුගේ දත්ත FBI භාරයට




කටාර් රාජ්‍ය වෙනුවෙන් නීති විරෝධී විදේශ බලපෑම් කිරීමේ ව්‍යාපාරයක නිරත වීමේ චෝදනා මත ඇමරිකානු හමුදාවේ  විශ්‍රාමික තරු හතරේ ජෙනරාල්වරයෙකුගේ විද්‍යුත් දත්ත ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) භාරයට ගෙන ඇති බව වාර්තාවනවා

මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ, ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද සහ නේටෝ හමුදාවන්ට නායකත්වය දුන් හිටපු මැරීන් ජෙනරාල් ජෝන් ආර්.ඇලන් වෙතයි.

වර්තමානයේ වොෂින්ටන් හි ප්‍රමුඛ තැරැව්කාර ආයතනයක සභාපති වන ඔහු පසුගිය බදාදා සිට නිවාඩු යවා ඇති බවත් ෆෙඩරල් උසාවිය මගින් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකර ඇති බවත් විදෙස් වාර්තාවල සදහන්.

ජෙනරාල් ඇලන්ගේ විද්‍යුත් සන්නිවේදන සෙවීම සඳහා වරෙන්තුවක් සඳහා වන අයදුම්පතක් අප්‍රේල් මාසයේදී මධ්‍යම කැලිෆෝනියාවේ ෆෙඩරල් දිස්ත්‍රික් උසාවියේ ගොනු කර තිබුණා.

ඒ අනුව එම දත්ත මේ වන විට එෆ්බීඅයි ආයතනය භාරයට ගෙන ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ පකිස්ථානයේ හිටපු එක්සත් ජනපද තානාපති රිචඩ් ජී. ඔස්ලෝන් සහ මැදපෙරදිග සමග  සබඳතා ඇති ව්‍යාපාරික විධායකයෙකු වන ඉමාඩ් සුබෙරි සමඟ ජෙනරාල් ඇලන් රහසිගත බලපෑම් කිරීමේ සැලැස්මට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී ඇති බව පැවසෙනවා.

කෙසේවෙතත්, ජෙනරාල් ඇලන්ගේ ප්‍රකාශකයෙකු  පැවසුයේ ජෝන් ඇලන් මෙම කරැණ සම්බන්ධයෙන් වන රජයේ විමර්ශන සදහා  ස්වේච්ඡාවෙන් සහයෝගය ලබා දී ඇති බවයි.

ජෝන් ඇලන් 2017 දී කටාර් සම්බන්ධයෙන් පෙනී සිටියේ එක්සත් ජනපදයේ සහ කටාර්හි ස්ථානගත කර ඇති හමුදා නිලධාරීන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට බව එම  ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා තිබෙනවා.