Sunday, May 5, 2024

General line - 0115112241

රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ගැන ඉන්දියාවෙන් අලුත් සැලසුමක්




රුසියානු තෙල් මිල සම්බන්ධයෙන් පුළුල් සම්මුතියකට එළඹීමට ඉන්දියාව තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ රුසියානු තෙල් මිල සීමා කිරීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මේවනවිට උත්සහයක නිරත වී සිටින පසුබිමක් තුළයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අමෙරිකාවේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුලු  නියෝජිතයන් පිරිසක් ඉන්දියාවට පැමිණීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන්දියාව  මේ වනවිට රුසියාවේ විශාලතම ඉන්ධන ගනුදෙනුකරුවෙකු බවට පත්ව සිටිනවා.

එහෙත් අමෙරිකාව ප්‍රමුඛ බටහිර සහ යුරෝපා රටවල් රුසියානු තෙල් ආනයනය සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන් පවසන්නේ රුසියාවේ ඉන්ධන ආනයනය යුක්‍රේන යුද්ධය සදහා රුසියාවේ මැදිහත් වීම පුලුල් කිරීමක් බවයි.

ඒ අනුව රුසියාවේ තෙල් මිල සීමා කිරීම ඉන්දියාව වැනි ප්‍රධාන පාරිභෝගිකයන්ගේ කැපවීම මත රදා පවතින බව අමෙරිකාවේ අදහස වී තිබෙනවා. 

ඒ අනුව රුසියානු ඉන්දන මිල සීමා කිරීමට ඉන්දියාවේ සහය ලබා ගැනීම අමෙරිකාවේ දැඩි අවශ්‍යතාවක් වී ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

මේ අතර රුසියාවෙන් මිලදී ගන්නා බොරතෙල්  භාවිතයෙන් නිපදවන දෑ අලෙවි වන්නේ කුමන රටවලටදැයි යන්න සම්බන්ධයෙන් ඉන්දියාවේ වැඩි අවදානයක් යොමු කිරීමට ද අමෙරිකාවට අවශ්‍ය බව වාර්තා වනවා. 

ඊට හේතුව වී ඇත්තේ රුසියානු බොරතෙල් මගින් නිපදවූ ප්ලාස්ටික් නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය විශේෂයක් නැව් මගින් නිව්‍යෝර්ක් වෙත ලගා වී තිබීමයි.

යුක්රේන අර්බුදය හේතුවෙන් රුසියාවෙන් බොරතෙල් හා පිරිපහදු කළ තෙල් ආනයනය කිරීම අමෙරිකාව ඉකුත් මාර්තු මාසයේදී අත්හිටුවා තිබෙනවා.

කෙසේවෙතත් රුසියානු ඉන්දන මිල සීමා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මතය කුමක්ද යන්න සම්බන්ධයෙන් අමෙරිකාවේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකමවරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.