Wednesday, November 20, 2024

General line - 0115112241

අපි ඡන්දවලට බයයි කියන අයගේ රැළි මූදේ රැළි වගේ, එනවා, යනවා බිදෙනවා - මනුෂ නානායක්කාර




මීට වසර දෙකකට පෙර ගාල්ලට පැමිණ තමන්ට ප්‍රතිපත්‍තියක් නොව ප්‍රතිපදාවක් පමණක් තිබෙන බව පැවසූ බවත් එම ප්‍රතිපදාව වෙනුවෙන් වර්තමානයේ මුළු රටක් එකට එක්ව තිබෙන බවත් 'ජයගමු ශ්‍රී ලංකා' වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනට අද (24) එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.
 
කිසිදු භේදයකින් තොර සියලු දෙනා ඒකරාශී වූ ගාල්ලෙන් අරඹන රැල්ල පිළිබඳව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. 

"මම මීට වසර දෙකකට පෙර කිව්වා මට තියෙන්නෙ ප්‍රතිපත්තියක් නොවේ ප්‍රතිපදාවක් බව. අද ඒ ප්‍රතිපදාව වෙනුවෙන් මුළු රටම එකතු වෙලා තියෙනවා. අද පක්ෂ වලංගු වෙන්නේ නැහැ. පාට ජාති ආගම් වලංගු වෙන්නේ නැහැ. ඒවා තිබිය යුතුයි. නමුත් රට වෙනුවෙන් ප්‍රතිපදාවක් විදියට මිනිස්සු අද එකතු වෙන්න පටන්ගෙන තියෙනවා." 
ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී එසේ කී අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
"මේ රටට එවන්න එපා කියපු ඩොලර් ටික මිනිස්සු ගැන හිතලා එව්ව විගමනික ශ්‍රමිකයන්ට ගාල්ලේ මගේ පුරවරයේ ඉඳලා දෑත් ඔසොවා ආචාරය පුද කරනවා. රට ගොඩනගන්න ඔබ දුන් හයිය නොවන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අවුරුදු දෙකක් ඇතුළත මේ රට ගොඩගන්න වෙන්නේ නෑ. එතුමා කිව්වා අත්පොලසන් දිය යුත්තේ එතුමට නොවේ, ඔබට සහ කරදර ඉවසා දරාගෙන සිටි මිනිසුන්ට බව.

 ගාල්ල ලෝක උරුම නගරය අපේම උරුමයක්. මහ පැරකුම්බා සමයෙන් පටන්ගෙන මෑත ඉතිහාසය දක්වා ගාල්ලේ ඉතිහාසය මෑත දේශපාලනය දක්වාත් ලියවෙනවා. තිසර සහ මයුර සන්දේශවලත් ගාල්ල ගැන  වර්ණනා කරනවා. විදේශිකයෙකුටවත් ඒ තරමට ගාල්ලේ සිරි නොනරඹා යන්න බැහැ. බයිබ⁣ලයේ පැරණි තෙස්තමේන්තුවේ ටර්ෂිශ් කියන්නේ ගාල්ලේ වරායට කියලා අපි විශ්වාස කරනවා. ඒ තරම් පැරණි වෙළඳ මධ්‍යස්ථානයක් ගාල්ල කියන්නේ.  
ගාල්ල කොටුව කියන්නේ වහලක් නැති කෞතුකාගාරයක්. රූමස්සල සමග රාමායණයටත් ගාල්ල සම්බන්ධ වෙනවා. අගමැතිවරයෙක් බිහි කළ දිස්ත්‍රික්කයක් ගාල්ල. අපේ දහනායක මහතා ඒ. සෙනරත් පරණවිතාන ශූරීන්ගේ ඉඳලා මෙහෙ බොහෝ ඉතිහාසයේ සාහිත්‍යධරයින් ඉන්නවා. රන්දොඹේ ඉපදුණු C.W.W. කන්නන්ගර මැතිතුමන් තමයි නිදහස් අධ්‍යාපනය මුළු රටටම දුන්නේ. අද බොරුවට විශ්ව විද්‍යාලවල කෑගහන අය මේව දන්නේ නෑ. අද විශ්ව විද්‍යාල දරුවන්ට මහපොළ අරගෙන නොමිලේ ඉගෙනගන්න ලැබුණෙ ලලිත් ඇතුලත්මුදලි මහතා නිසා. අද පාසල් දරුවන්ට ජනාධිපතිතුමා ශිෂ්‍යත්ව ලබා දීලා තියෙනවා නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දන්න හින්දා. 

මීට වසර දෙකකට කලින් මම මෙහෙ ඇවිල්ල කිව්වා මට ප්‍රතිපත්තියක් නෑ මට තියෙන්නෙ ප්‍රතිපදාවක් විතරයි කියලා. අද ඒ ප්‍රතිපදාව වෙනුවෙන් මුළු රටම එකතු වෙලා තියෙනවා. අද පක්ෂ වලංගු වෙන්නේ නැහැ. පාට ජාති ආගම් වලංගු වෙන්නේ නැහැ. ඒවා තිබිය යුතුයි. නමුත් රට වෙනුවෙන් ප්‍රතිපදාවක් විදියට මිනිස්සු අද එකතු වෙන්න පටන්ගෙන තියෙනවා. අද අවුරුදු දෙකක් යනකොට මේ ආගාධයෙන් ගොඩ ඒමට පුළුවන් වීම ගැන අපි සතුටු වෙනවා විතරක් නෙමෙයි කණ්ඩායමක් විදියට අපි ආඩම්බර වෙනවා. ගාල්ලේ කට්ටිය ඒ කාලේ කිව්වේ මේක ගොඩනගන්න බෑ කියලයි. එදා මම කම්කරුවන් ඇත්තටම නැති කරනවා කියලා මේ වේදිකාවේදී කිව්වා අවුරුදු දෙකකට කලින්. අපි නැත්තටම නැති කරනවා කිව්වේ කිලුටු ඇඳුම් ඇඳගෙන ඉන්න, හැමදාම මැයි දිනයට පාරට ගේන ක්‍රමය අවසන් කරලා ශ්‍රමිකයා හදන වැඩ්ඩෙක් හදලා නූතන වැඩ ලෝකයට ගැලපෙන පුද්ගලයෙක් හදනවා කියන එක. එදා අපි ඒකට ඕන කරන වැඩපිළිවෙල හදලා කම්කරු පනත වෙනුවට අලුත් රැකී රක්ෂා පනත හදලා පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් පසුබිම අපි හදලා තියෙනවා. කම්කරු කියන වචනයම ඉවත් කරලා දාලා අලුතෙන් අමාත්‍යාංශය හැදෙන්නෙත් රැකී රක්ෂා අමාත්‍යාංශය. කම්කරු දෙපාර්තමේන්තුවක් නෑ, තියෙන්නේ රැකී රක්ෂා දෙපාර්තමේන්තුව. අපේ ශ්‍රමිකයාට ගරු සරුව හදන්න, ඔවුන්ගේ ශ්‍රමය විකුණද්දී අඩුවට විකුණන්නේ නැතුව නිසි මිලට විකුණන්න, ඔවුන්ගේ සමාජ සුභසාධනය හදන්න අපි මේ වැඩපිළිවෙළ හදලා දිස්ත්‍රික්කය දිස්ත්‍රික්කයක් ගානෙ ක්‍රියාත්මක කරලා ඒකෙ විසි තුන්වෙනි අදියර අද ගාල්ලෙදිත් සිද්ධ කරනවා. 

ඒ වගේම නුපුහුණු ශ්‍රමිකයන් විදියට රට ගියපු අය පුහුණු විදිහට විදේශ සේවා නියුක්ති කාර්යාංශය බහුතරයක් පුහුණු ශ්‍රමිකයන් යවලා, සම්පූර්ණ වෙනසක් කරලා කම්කරුවා කකරලා ශ්‍රමිකයා වැඩ්ඩා කියන සාර්ථක තැනට අවුරුදු දෙකකට පස්සේ එන්න පුළුවන්කම ලැබුණා. 

බැංකු පද්ධතිය හරහා වැටුණු රට ගොඩ ගන්න ඩොලර් එවපු ශ්‍රමිකයන්ට කළගුණ සලකන්නත් ඔවුන්ට ප්‍රතිලාභ ලබාදෙන්නත් ලක්ෂයක් ව්‍යවසායකයෝ හදන්න අපි තීරණය කළේ. අපිට හැම වෙලේම අපේ වෙළඳ සේවය පියවා ගන්න අපේ ශ්‍රමිකයන් හැමදාම පිටරට යවල බැහැ.  ඒ වලින් සල්ලි ගේන එක මත රඳා පවතින්න බැහැ. කැමති අය යයි. රට ඇතුළේ කර්මාන්ත තියෙන්න ඕන. දැනට ඊපීඑෆ්, ඊටීඑෆ් ගෙවන කර්මාන්ත අපේ රට ඇතුලෙ තියෙන්නේ අසූඅටදාහයි. ඒක ලැජ්ජාසහගත තත්ත්වයක්. ඒ නිසා අපි ගාල්ල, මාතර, හම්බන්තොටින් පන්දාහක් ව්‍යවසායකයින් මෙතනට ගෙනල්ලා තියෙන්නේ. රුපියල් පනස් දාහෙන් පටන් අරගෙන ලක්ෂයක්, ලක්ෂ දෙක හමාරක් ප්‍රදානයක් විදියට ලබා දීලා, ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කරලා ව්‍යවසායකයින් ලක්ෂයක් රට ඇතුළේ හදලා එදා කොරියාව අයිඑම්එෆ් ගිහිල්ලා වැටිච්ච රට දියුණු කළා වගේ අපිත් අයිඑම්එෆ් එක ඉවර වෙනකොටම මේ ව්‍යවසායකයින් ශක්තිමත් කරලා, විගමනික ශ්‍රමිකයින්ගෙන්ම ව්‍යවසායකින් ලක්ෂයක් හදලා, ඒ ලක්ෂය හරහා අනිත් ව්‍යාපාරිකයිනුත් එක්ක එකතු වෙලා මේ රට දියුණු කරන එක, සංවර්ධිත රටක් කරන එක සිහිනයක් නෙවෙයි සැබෑවක්. 'ජයගමු ශ්‍රී ලංකා' කියලා සියලු දෙනා එ්කරාශී කරගෙන යන ගමනටයි මේ සියලු දෙනාත් අපි එකතු කරගෙන යන්නේ. ඒ නිසා අතර මග නතර නොකර ආයිත් රට යන්න ඕනේ නැති වෙන්න ලංකාවේ ඉඳලම ව්‍යාපාරයක් කරන්න ඔබට ශක්තිය දෙන්න ආධාර ලබා දෙනවා. 

ආණ්ඩුවට දෙන්න බැරි ඉල්ලීම් කරලා, වර්ජන කරලා, ගර්ජන කරලා, මිනිස්සු පාරට බස්සලා අන්තිමේ දුම්රිය වර්ජනයෙන් ජීවිතයකුත් නැති කරලා දේශපාලනය කළා. අපි ඒ ක්‍රමයෙන් වෙනස්. අර්බුදවලදී ගොඩ යන්න හදන අයට අර්බුදවලින් ගොඩ යන්න බැහැ. අර්බුදයට විසඳුම් ලබාදීම තමයි අපේ ක්‍රමය කියන එක අපි පෙන්නුවා. පක්ෂ පාට වලට බෙදලා කරන දේශපාලනය නෙවෙයි, රටට ඕනි කරන විසඳුම. ජාතියක් විදිහට එකට එකතු වෙන එකයි විසදුම කියලා අපි අවුරුදු දෙකක් ඇතුළත පෙන්නුම් කළා ඒකෙ ප්‍රතිඵලයක් හැටියට අපි අවුරුදු දෙකක් ඇතුළත මේ රට ගොඩනැගුව විතරක් නෙවෙයි, අපි අදටත් හෙටටත් දේශපාලනය කරන්නේ නැහැ. රට ගොඩ නඟන ව්‍යාපාරයක් විතරයි අපි කරන්නේ. රට දින වන ව්‍යාපාරයක් විතරයි අපි කරන්නේ කියන එක අපි මතක් කරනවා. සමහරු කියනවා අපි ඡන්ද තියන්නේ නෑ, රැලිවලට බයයි කියලා. අපි කියන්නේ ඔය රැලි ඉතින් මුහුද වගේ තමයි. රැලි එනවා, රැලි යනවා, රැළි බිඳෙනවා. අලුත් රැල්ලක් තමයි අපි අද ගාල්ලෙන් පටන් ගන්නේ. ඒ තමයි යළි රට නොවැටෙන්න, ඔබ සියලු දෙනා එක්ක එකට අත්වැල් බැඳගෙන රටක් විදියට ගොඩනැගෙන රැල්ලයි අපි මේ ආරම්භ කරන්නේ. ඒකට පාට නෑ, පක්ෂ නෑ, ඒකට කුල ජාති ආගම් නෑ. සියලු දෙනා එකට එකතු වෙලා රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයින් සියලු දෙනා එකතු වෙලා ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ජයගම ශ්‍රී ලංකා කියන්නේ සිහිනයක් නෙවෙයි. පාට පක්ෂ ජාති කුල මල පැත්තකට දාලා තමන් තමන්ගෙන් පටන් ගත්තොත් මේ ජයගමු ශ්‍රී ලංකා කියන්නේ සිහිනයක් නෙවෙයි, යථාර්ථයක්. ඒ වෙනුවෙන් රැල්ල පටන් ගමු අද ගාල්ලෙන්."  යැයි අමාත්‍යවරයා පැවසීය. 

මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආනන්ද විමලවීර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම් මංගලා කරුණාතිලක, මුදිතා පද්මජායි,  ලාල් සමරසේකර, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, කම්කරු කොමසාරිස් එච්.කේ.කේ.ඒ. ජයසුන්දර, මිනිස් බල සහ රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  කේ.ජී.එච්.එන්.ආර්. කිරිඇල්ල, ජාතික වෘත්තිය සුරක්ෂිත හ සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා අමරසිංහ, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැළුම් තිළකරත්න, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙ උපදේශිකා පත්මිණී රත්නායක, පෞද්ගලික ලේකම් ශාන් යහම්පත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යධිකාරී එම්.ආර්.සී.බී. ඒකනායක, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙෆ් ගුණවර්ධන, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික හසාම්. රාජ්‍ය නිළධරීන් , විගමණික පවුල් සාමාජිකයන් ඇතුළු රැසක් සහභාගී විය.