හම්බන්තොට මාගම්පුර වරායේ අද දහවල් ඇති වූ කලහකාරී තත්ත්වය මේ වනවිට බොහෝදුරට සමනය වී තිබෙනවා.
කෙසේ වෙතත් උද්ඝෝෂණයේ නිරත සේවකයන් සහ නාවික හමුදාව යන දෙපිරිසම තවදුරටත් එහි රැඳී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
නාවික හමුදාව විසින් උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට උත්සහ කිරීමේ දී අද (10) දහවල් මෙම කලහකාරී තත්වය ඇති වුණා.
උද්ඝෝෂකයින් කියා සිටියේ නාවික හමුදා නිලධාරීන් තමන්ට පහරදීමක් ද සිදු කළ බවයි.
කෙසේ වෙතත් කිසිදු පහරදීමක් සිදු නොකළ බවත් උද්ඝෝෂකයින් විසින් සිරකර ගෙන සිටි විදේශීය වෙළඳ නෞකා දෙකක් බේරා ගැනීමට පමණක් සිය මෙහෙයුම් සිදු කළ බවත් නාවික හමුදාව අවධාරණය කළා.
සේවකයින් ඇතැම් පිරිසක් උද්ඝෝෂණයේ යෙදී සිටියේ මුහුදට බැසගෙනයි. නාවික හමුදාව විසින් ඔවුන් ඉවත් කර තිබෙනවා. තවත් සේවකයින් පිරිසක් උද්ඝෝෂණයට එක්වුණේ මහල් 14 ක ගොඩනැගිල්ලක සිටයි. ඔවුන් තවදුරටත් එහිම රැඳී සිටින බවයි මාගම්පුර වරායේ සේවක කමිටුව කියා සිටියේ.
මේ අතර කලහකාරීව හැසිරෙන උද්ඝෝෂකයින් නිසා හම්බන්තොට මාගම්පුර වරායේ දේපලවලට කිසියම් අලාභයක් සිදු වුවහොත් එය එම උද්ඝෝෂකයින්ගෙන්ම අයකර ගැනීමට සිදුවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. ඒ සඳහා උද්ඝෝෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගැනීමට සිදුවන බවයි සිය අමාත්‍යංශයේ අද පැවත්වූ මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින් පිරිසක් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන්නේ තමන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ස්ථීර සේවයට බඳවා ගන්නා ලෙස බල කරමින්. එසේ නොකළහොත් රජය චීන සමාගමක් සමග එළඹෙන ගිවිසුම්වලින් සිය රැකියා අවදානමට ලක්වන බව ද ඔවුන් පවසනවා.
කෙසේ වෙතත් අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ උද්ඝෝෂණයේ නිරත සේවකයින්ගේ රැකියා අවදානමට ලක් වන්නේ ඔවුන්ගේ හැසිරීම නිසා බවයි.
චීන සමාගම සමග ගිවිසුම්වල දී ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට තමන් මීට පෙර ක්‍රියාකර තිබුණු බව ද අමාත්‍යවරයා සිහිපත් කළා.
මෙම සේවකයින් තවදුරටත් සිය සේවා ඉටු කිරීමෙන් වැළකී සිටින්නේ නම් වෙනත් පිරිසක් හෝ සේවයට බඳවාගෙන මෙහෙයුම් යථා පරිදි පවත්වාගෙන යාමට සිදුවන බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.