Friday, March 29, 2024

General line - 0115112241

සල්ලාල පෙම්වතුන් හා තැනතැන තනිවන සරසවි සිසුවියන්ගේ ඉරණම (පාඨකයාගේ ලිපිය)



සරසවිය යනු අධ්‍යාපන කටයුතුවලට මෙන්ම අනෙකුත් සියලුම කාර්යයන්වලට ද අසීමිත නිදහසක් ඇත්තා වූ ස්ථානයකි. එකී නිදහස අයුතු ලෙස භාවිත කිරීමතුළ සිදුවෙමින් පවතින්නා වූ තවත් එක් ඛේදවාචකයක් පිළිබඳව මෙසේ කරුණු ගෙනහැරදක්වමි.

සරසවිවලට පැමිණෙන බහුතර ශිෂ්‍යාවන් ප්‍රමාණයක් ඈත ගම්වල සිට පැමිණෙන අයවෙති. එනිසා ග්‍රාමීය සංස්කෘතිය තුළින් ඔවුන්ගේ ජීවිත පාලනය කළ තත්වයන්වලින් මිදීමට සරසවිය තුළ දී ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම ඔවුන් විසින් සිදුකරනු ලබයි. එක් අතකින් බලන කල එය ඔවුන්ගේ වරදක් ද නොවේ. මන්දයත් ග්‍රාමීය පරිසරය තුළ ගැහැණු ළමයෙකුට හිමිකර දෙන්නා වූ අති විශාල වටිනාකම් ප්‍රමාණය හා එයට බැඳී ඇති සීමා හා අවහිරකම්වල පරිමාව අතිශයින්ම පුළුල් වන බැවිනි. එනිසාම එකී සීමා කිරීම් හා අවහිර කිරීම් තුළ පීඩනයට ලක්ව සිටින ගැහැණු ළමුන් සරසවි ජීවිතයට පිවිසෙත්ම එම සීමා කිරීම් හා අවහිර කිරීම්වල බැමි ලිහා දමමින් තමන්ට රිසි අයුරින් කිසිවෙකුගේ හෝ පාලනයකින් තොරව සිය ජීවිතය ගත කිරීමට පටන් ගනිති. එම ජීවිතය තුළ සුවිශේෂී වැදගත්කමක් හිමිකර ගන්නා වූ ප්‍රේම සම්බන්ධතා ඔස්සේ ඔවුන්ගෙන් ඇතමුන් සිය ජීවිත සරසවි එළියෙන් අඳුරට ඇද දමා ගනිති.

ගම් වලින් සරසවි වලට පැමිණෙන සිසුවියන් බොහෝ ප්‍රමාණයක් සල්ලාල පෙම්වතුන්ට රැවටී ඔවුන් තම පෙම්වතුන් බවට පත්කර ගනිති. ඇතැම් විට ඔවුන් Miss Calls මඟින් හමු වූ තැනැත්තන්ය. එසේත් නැතිනම් බස් රථයක දී හෝ මහමඟ දීඅහම්බෙන් හමු වී ප්‍රේම සබඳතාවයක් ගොඩනඟා ගත් පුද්ගලයන්ය. මෙලෙස කවරආකාරයකින් සබඳතාවය ගොඩනඟා ගෙන සිටියත් සිසුවියන් බහුතරයකගේ අවසාන ඉරණම එකහා සමානය. මෙකී සබඳතා වල ඛේදවාචකය වන්නේ එයයි.

සිය පෙම්වතා සල්ලාලයෙක් වුවත් පෙම්වතිය හමුවේ ඔහු සැබෑ පෙම්වතෙක් ලෙසපෙනී සිටියි. එහෙත් එසේ මවාපාන එම ප්‍රේමයේ සැබෑ අරමුණ වන්නේ අධික කාමයයි. මුලින් ප්‍රේමයේ දේව දූතයෙක් ලෙස පැමිණ ඉන් අනතුරුව වැරදි හා අනාරක්ෂිත ලිංගික ක්‍රියාවලට ඇරයුම් කරන මොවුන්ගේ සත්‍ය තත්වය බොහෝ සරසවි සිසුවියන් වටහා ගන්නේ ඇතැම් විට සරසවි ජීවිතය නිමා වීමෙන් අනතුරුව ඇය විවාහ කර ගැනීමට නොහැකි බව පවසමින් ඔහු විසින් ඇයව මඟහරිමින් සිටින විටය. නැතහොත් ඔහුගේනීත්‍යානුකූල බිරිඳ හෝ වෙනත් අනියම් පෙමක තතු හෙළි වන්නට පටන් ගැනීමෙන් පසුවය.

ඇතැම් විට එම අනියම් පෙම වෙනත් සරසවියක සිසුවියක් සමඟ විය හැකිය.කාරණය කුමක් වුවත් සත්‍ය තේරුම් ගන්නා විට යළි නොහැරිය හැකි දුරක් ඔවුන් සිය සල්ලාල පෙම්වතා සමඟ ගොස් අවසන්ය. ඒ තම ජීවිතයේ යළි කිසිදු දිනක අත්කරගත නොහැකි කන්‍යාභාවය පවා පෙම්වතාට පූජා කරමිනි. අවසානයේ රළු සපත්තුවකට තැළී පොඩිවී ගිය මල් කැකුළක් තරමටම මොවුහු අසරණ වෙති. සල්ලාලයෙකුගේ පෙම්වතියකගේ සැබෑ තත්වය වන්නේ මෙයයි.

බොහෝ සල්ලාල පෙම්වතුන් සිය සරසවි පෙම්වතියන්ට ප්‍රේම කිරීම සඳහා තෝරාගන්නේ හෝටල් කාමරයකි. නැතහොත් ලැගුම් හලකි. එසේත් නැතිනම් චිත්‍රපට ශාලාවක බොක්ස් එකකි. මෙම කවර ස්ථානයක් ඔවුන් විසින් තෝරා ගනු ලැබුවත් එසේතෝරා ගන්නේ සැබෑ ප්‍රේමය සිය පෙම්වතිය සමඟ අත්විඳීමට නම් නොවේ. මන්ද යත්මෙම කිසිදු ස්ථානයකට නොගොස් පෙම්වතුන්ට ප්‍රේම කිරීම සඳහා ස්ථාන ගණනාවක් නොමිලයේම ඉතා පහසුවෙන් සොයා ගත හැකි වන බැවිනි. එසේ නම් ඔවුන් මෙම ස්ථානවලටයන්නේ වැරදි කාමයේ රස සරසවි පෙම්වතියගේ නාමයෙන් අත්විඳීමට මිස අන් කිසිදුකාරණයක් සඳහා නොවේ.

සල්ලාල පෙම්වතාගේ ප්‍රේමයට මුළා වී ඔහු ඉදිරියේ සියඇඳුම් උනා දැමීමට සරසවි පෙම්වතිය ද කිසිදු විටෙක පැකිළෙන්නේ නැත. මුලින් ඒ සඳහා අකමැත්ත පළ කළත් සිය පෙම්වතාගේ සිත රිදවීමට ඇති අකමැත්ත නිසාත් තමාට පෙම්වතා අහිමිවේය යන බිය නිසාත් පෙම්වතියෝ පහසුවෙන්ම තම සල්ලාල පෙම්වතුන්ට අවනත වෙති. සිය ගමෙන් බොහෝ දුර සරසවි නේවාසිකාගාරයක හෝ සරසවිය අසළ බෝඩිමක නැවතී සිටින, සල්ලාලයින් හා හාද වූ බොහෝ සරසවි සිසුවියන්ගේ ප්‍රේම කතාවවන්නේ මෙයයි. ගමේ සිට නොකා නොබී ඉතුරු කර ගන්නා මුදල් සරසවියේ ඉගෙන ගන්නාතම දියණියට එවන අහිංසක දෙමව්පියන්ගේ බලාපොරොත්තු මෙලෙස හෝටල් කාමර හා ලැගුම් හල් තුළ සුසුම් බවට පත්වන බව දන්නේ ප්‍රේමයෙන් අන්ධ වූ එම සිසුවියන්ම පමණි. දෙමව්පියන් නොදන්නා වූ මෙම ඛේදවාචකය අද වන විට ගමෙන් සරසවි පැමිණි බොහෝ සිසුවියන්ගේ තත්වය වේ.

තව ද මෙවැනි සල්ලාල පෙම්වතුන් සිය සරසවි පෙම්වතිය හමුවීමට පැමිණෙන කාලය වන්නේ ද බොහෝ විට සවස් යාමයයි. සිය රාජකාරීන් නිසා දිවා කාලයේ හමුවීමට නොහැකි බව හෝ වෙනත් හේතුවක් ඒ සඳහා ගෙනහැර දක්වමින් ඔවුන් පෙම්වතිය හමුවීමටඑම වේලාව යොදා ගන්නේ මුළු රාත්‍රී කාලයම ලැගුම් හලක සිය පෙම්වතිය සමඟ නිදහසේ ලිංගික සුවය විඳිමින් ගත කිරීමට හැකි බැවිනි. ගමෙන් පැමිණෙන විට තරුණයෙකුගේ සුළැඟිල්ලක්වත් ස්පර්ශ නොකර සිටි ඇතැම් සිසුවියන් සිය පෙම්වතාසමඟ රාත්‍රියේ කාමරයක් තුළ නිරුවත් වී ඔහුගේ හැඩි දැඩි සිරුර පුරා සියඅතැඟිලි යවමින් ඔහුව තෘප්තියට පත් කරති. ඉන් නොනවතින ඇතැම් පෙම්වතියන්ත මන්ගේ නිවසින් තමාට එවන මුදල පවා පෙම්වතාට පඬුරු ලෙස පුදා එයත් ප්‍රමාණවත් නොවන්නේ නම් සිය කනකර පවා ගලවා ඔහුගේ අත මත තබන්නේ ජීවිතයේ මින් පෙරකිසිදා තමා නොවිඳි වින්දනයක් පෙම්වතා තමාට ලබාදීමට කටයුතු කළ බැවිනි. එම වින්දනය තාවකාලික වුවත් අවසානයේ ඉන් තමාට උරුම වන්නේ සදාකාලික වේදනාවක් බවඇය නොදනී.

සරසවි සිසුවියන් සමඟ ප්‍රේම සබඳතා පවත්වන සෑම පෙම්වතෙක්ම මෙම ඛේදවාචකයටසිය පෙම්වතිය ගොදුරු කර නොගන්නා බව ද පැවසිය යුතුය. නමුත් අතළොස්සක් වූසල්ලාල පෙම්වතුන්ගේ ක්‍රියා කලාපය වන්නේ මෙයයි. එනිසා සිය පෙම්වතියගෙන්සැබෑ ආදරය පමණක්ම බලාපොරොත්තු වන හා සිය පෙම්වතියගේ නාමයට වචනයකින්වත් කැළලක් එකතු නොකිරීමට කටයුතු කරන පෙම්වතෙක් මෙම ලිපිය කියවීමෙන් සිත්රිදීමට පත් වන්නේ නම් ඒ පිළිබඳව සමාව අ‍යැද සිටිමි. මන්ද යත් මෙම ලිපිය ඔවුන් පිළිබඳ නොවන නිසාය.

සල්ලාල පෙම්වතුන් හා ප්‍රේම සබඳතා පවත්වන පෙම්වතියන්ගේ යෙහෙළියන්ගේ හා සරසවි සිසුවියන් හා ප්‍රේම සබඳතා පවත්වන සල්ලාල පෙම්වතුන්ගේ හිතවතුන්ගේත් අවධානය මෙම ලිපිය කරා යොමුවී සරසවි සිසුවියන් මෙම ඛේදවාචකයෙන් මුදා ගැනීමට හා ඔවුන්ගේ ගොදුරු බවට සරසවි සිසුවියන් පත්කර ගැනීම වළකාලීමට සියලු දෙනාගේ අවධානය යොමු වේවායි අවසානවශයෙන් පතමි.

සුරෝෂන ඉරංග

කතෘ සටහන – මේ සම්බන්ධයෙන් ඔබේ අදහස හෝ සමාජ වැදගත් කමකින් යුත් වෙනත් විෂයයක් සම්බන්ධයෙන් ඔබේ අදහස “සිංහල Unicode අකුරු“ භාවිතයෙන් ලියා මාතෘකාව “කතෘට ලියුම්“ යනුවෙන් සටහන් කොට [email protected] විද්‍යුත් ලිපිනයට එවන්න.