Monday, March 3, 2025

General line - 0115112241

ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමට එරෙහිව පාර්ශව කිහිපයකින් අතරමැදි පෙත්සම්



ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම්  ඉදිරිපත් වී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ව්‍යවසායකයෙකු වන සී ඩී ලෙනව විසින් පෙත්සම ගොනු කර තිබුණා.

ඊට එරෙහිව අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර,  ජාතික   ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර විසින්.

ඊට අමතරව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් විසින් ද අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අතරමැදි පෙත්සම්කරුවන්  කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය 03 පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 දෙක ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට වසර 05ක් දක්වා අඩු කර තිබෙන බවයි.

ඒ අනුව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව  වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය මෙම වසරේ අවසන් වන බවත් මෙම වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමේදී  පෙත්සම්කරු වැරදි සහගත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු කර ඇති බවත් ඔවුන් චෝදනා කරනු ලබනවා.  

එමෙන්ම සිය ඉල්ලීම සාධාරණීකරණය කිරීමට ඉවහල් වන කරුණු කිසිවක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බවත් අතරමැදි පෙත්සම්කරුවන් පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන නීතියක් බැවින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බවත් අතරමැදි පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට තමාට අවසර දෙන ලෙසත් තමන් ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා බලා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. 

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මීට පෙර නම් කෙරුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජේෂ්ඨතම විනිසුරුවරුන්ගෙන් සමන්විතවයි. 

අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් නම් කර ඇති එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වනදා කැඳවීමට නියමිතයි. 


උදය කුමාර/-----------/