Tuesday, March 4, 2025

General line - 0115112241

ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම අද

උදය කුමාර



ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද සිදු කෙරනවා.

ඒ, අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් නම් කර ඇති විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා ගොනු කළා.

ඒ, මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වූ සී ඩී ලෙනව විසින්.

පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවක් නිර්මාණය වී තිබෙන බවයි. 

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06ක් බව සඳහන් කර තිබූ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයේ 03වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 - දෙක වගන්තිය සංශෝධනය කර තිබෙනවා.

එසේ සඳහන් වුවද එතුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද එසේත් නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී තිබෙන බවයි පෙත්සම්කරු සඳහන් කර තිබුණේ.

කෙසේවෙතත් කවුරු අධිකරණය හමුවට ගියද මෙම වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.