Sunday, March 9, 2025

General line - 0115112241

සුළං බල විදුලි ව්‍යාපෘතිය අදානි මෙතෙක් අවලංගු කර නැතැයි විෂයභාර ඇමති කියයි



අදානි සමාගම සමග සිදු කිරීමට නියමිතව තිබූ සුළං බල විදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභාවාරයේ පළමු බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් ඔහු එම අදහස් පළ කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු පැවසුවේ.

එහිදී කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු පැවසුවා.

අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම විසින් එම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබඳ අමාත්‍යංශය දැනුවත් කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේවෙතත් සුළං බල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ මෙරට අදානි සමාගමේ නියෝජිත ආයතනය සමගින් බවත් එම නිසා මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කර ඇති බවත් එහිදී ප්‍රකාශ කෙරුණා. 

එබැවින් ලිපිය යවා සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂිත බව අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසුවා.

එම සති දෙක ඇතුළත සෘණාත්ම පිළිතුරක් ලැබුණහොත් පමණක් වෙනත් විකල්පයකට යොමු වීමට සිදුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.