සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.
මෙලෙස කරුණු වාර්තා කරනු ලැබුවේ වැල්ලම්පිටිය පොලීසිය විසින්.
පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම අපරාධයට පිය පුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි.
ඒ අනුව බන්දුල පියල් හා මාධව සුදර්ශණ යන පිය පුතු දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සහ ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ පුද්ගලයින් දෙදෙනා විදේශගත වීම වළක්වාලමින් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් වෙත නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.
වැඩිදුරටත් කරුණු දැක්වූ පොලීසිය පැවසුවේ මියගිය තැනැත්තාගේ සහෝදරයකු වන තිළිණ ප්‍රසාද් නමැත්තා මීට වසර කිහිපයකට පෙරදී කපා කොටා ඝාතනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙම පිය පුතු දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවතින බවයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඉදිරි විමර්ශන සිදු කරන බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියා.
මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සිද්ධියට අදාළව අපරාධය සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට ද නියමිතයි.