Sunday, October 20, 2024

General line - 0115112241

රවීට නඩු ! මහේන්ද්‍රන් ඉදිරියේ මහ බැංකු ලොක්කෝ ගොළු වෙළා! ජනපති කියයි (UPDATE)




ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභා විමර්ශනයේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විශේෂ ප‍්‍රකාශය මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරියේ මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අක‍්‍රීයශිලි වී ඇති බව ද වාර්තාව මගින් පෙන්වා දෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් අදාළ තනතුරට පත් කිරීමේදී අග‍්‍රාමාත්‍යවරයාගේ වගකීම විධිමත් බවද එම වාර්තාවේ සඳහන්.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බවත් ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බවත් කොමිසම නිර්දේශ කර ඇතැයි ද ජනාධිපතිවරයා සිය විශේෂ ප‍්‍රකාශයේදී සඳහන් කළා. 

මෙම ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාව සඳහා රජය වියදම් කළ සියළුම මුදල් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අය කරගන්නා බව ජනාධිපතිවරයා හෙිදී පැවසුවා.

සම්පූර්ණ ප්‍රකාශය පහතින් අසන්න/ කියවන්න.

-----------------------------------------------------------
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළ විමර්ශනයේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විශේෂ ප‍්‍රකාශය අද
03-01-2018 17:38
තරංග රුක්ෂාන් ජයසේකර

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළ විමර්ශනයේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විශේෂ ප‍්‍රකාශය අද (03) පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කරනු ඇතැයි වාර්තා වනවා.

ඊට අදාළ වාර්තාව ලැබිමෙන් පසු ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තැබුවේ අද දිනයේ ඒ පිළිබද ප‍්‍රකාශයක් සිදුකරන බවටයි.

පිටු 1,400 කින් සහ ඇමුණුම් සියයකින් එම වාර්තාව සමන්විතයි. කොමිසම හමුවේ පෙනී සිටි හැත්තෑ දෙනෙකුගේ සාක්‍ෂි ඊට ඇතුළත්. ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ නිර්දේශද එහි අන්තර්ගත බවයි වාර්තා වන්නේ.

මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා. එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය පී හැරිසන් කියාසිටියේ "වාර්තාව කොයි තරම් ලොකු වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ" යනුවෙනි.

මේ අතර බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරී අනිසි ලෙස භාවිත කිරීමේ සිද්ධින් පිළිබද සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවද ඊයේ (02) ජනාධිපතිවරයාට භාරදුන්නා.

2010 වසරේ ජනවාරි මාසයේ සිට 2015 වසරේ ජනවාරි දක්වා සිදුවූ සිද්ධීන් මෙහිදි සොයා බැලීම සිදුවුණා.

----------------------------------

රටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප‍්‍රකාශය අද

(03-01-2018 05:26)

 

ආන්දෝලනාත්මක බැඳුම්කර ගණුදෙණුවට අදාළව සිදුකළ විමර්ශනයේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (03) විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

අදාළ කොමිසමේ සාමාජිකයින් විසින් ඉකුත් 30 වැනිදා මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන්නා. පිටු දහසකට වැඩි සංඛ්‍යාවකින් එය සමන්විතයි. 

මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සඳහා ඉකුත් වසරේ ජනවාරි මස 27 වන දින ජනාධිපතිවරයා විසින් අදාළ කොමිසම පත් කරනු ලැබුවා. එහි නිල කාලය අවස්ථා 4 කදි දීර්ඝ කෙරුණු අතර බොහෝ පිරිසක් එහිදී සාක්‍ෂි ලබාදුන්නා.

මෙහිදි විමර්ශනය කෙරුණේ 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුකළ බැදුම්කර නිකුතුව පිළිබඳවයි. ඒ පිළිබදව විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ විගණන වාර්තාවක සඳහන් වුයේ බැදුම්කර නිකුතුවේදී රජයට සිදුව ඇති රුපියල් බිලියන 1.6 ක පාඩුව වළක්වා ගැනීමට කටයුතු කර නොමැති බවයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවද විමර්ශනයක් සිදුකළේ අදාළ විගණන වාර්තාව පදනම් කර ගනිමින්. ජනාධිපතිවරයා මෙම ජනාධිපති කොමිසම පත් කළේ ඉන් පසුවයි. එහි පළමු රැස්වීම පෙබරවාරි 6 වැනිදා සිදුවුණා. කොමිසම සාක්‍ෂි විභාග කළ දින ගණන 123 ක්. 

වත්මන් මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, කෝප් කමිටුවේ සභාපතිවරයා, විගණකාධිපතිවරයා සහ හිටපු මහබැංකු අධිපතිවරයාද කොමිසම හමුවේ පෙනී සිටියා. එමෙන්ම බැදුම්කර ගණුදෙණුවට සම්බන්ධ වූ පර්පචුවල් ටෙ‍්‍රසරිස් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන්ද කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්‍ෂි ලබාදුන්නා.

එම සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් අවස්ථා රැසකදී මෙම කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදීම සිදු කළා. හිටපු අමාත්‍ය රවී කරුණානායක මෙන්ම කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යන අමාත්‍යවරුන්ද කොමිසම හමුවේ පෙනී සිටි පිරිසට අයත්. අගමැතිවරයාද කොමිසම හමුවේ පෙනී සිටියා.

හිටපු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේද බැඳුම්කර කොමිසමේදී අනාවරණ වූ සාක්‍ෂි පදනම් කර ගනිමින්. එම විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුණා. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය දයාසිරි ජයසේකර කියාසිටියේ ද කොමිසමේ වාර්තාවේ ඇති කිසිඳු කරුණක් සැඟවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නොවන බවයි.

ජනාධිපතිවරයා අද දිනයේදී අදාළ වාර්තාව පදනම් කර ගනිමින් සිදුකරන ප‍්‍රකාශය ඉතා වැදගත් එකක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.