Friday, April 26, 2024

General line - 0115112241

ඩොලරය රුපියල් 200 වුණත් බය වෙන්න එපා - ඩොලරය බස්සන හොඳම විසඳුම මෙන්න




"ඇමෙරිකාව තමන්ගේ ඩොලරය බලසම්පන්න කරනවා. ඒක අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම බලපාන  ප්‍රශ්නයක් වෙලා. යුරෝපය වෙනම මුදල් ඒකකයක් පවත්වාගෙන යනවා. මේ ලෝක තත්ත්වය තේරුම් අරගෙන අපි ආර්ථිකය හසුරුවනවා. මේක පාලනය කරගන්න පිටරට සල්ලි තියාගෙන ඉන්න අයට ඒ සල්ලි ගේන්න අවස්ථාව දෙන්න ඕනෑ." යැයි ස්වදේශ කටයුතු අමාත්ය  වජිර අබේවර්ධන පැවසුවා.

''මම ඇවිත් ගියා කිව්වම ඇතැම් අය අහවි ඩොලර් එක කීය ද කියලා. ඩොලර් එක හොඳටම වැඩිවෙලා. රුපියල් 200 ඉක්මවා ගියත් බය වෙන්න එපා. අපි ආර්ථිකය හරියට හසුරුවනවා. ගෑස් මිල ටිකක් වැඩි වුණා. ඒත් පසුගිය ආණ්ඩුවෙන් ගෑස් දීපු ගානට වඩා තවමත් ගාන අඩුයි. වැරදියට ආර්ථිකය හැසිරුවානම් මේ විදියට කලින් ආණ්ඩුවට වඩා අඩුවට ගෑස්, තෙල් කිරිපිටි දෙන්න බැරිවෙනවා. අපි ජනතාව අමාරුවේ දාන්නේ නැහැ. අපි කිව්වේ නෑ මඤ්ඤොක්කා, බතල , කෙසෙල් අල, ලාවළු කන්න කියලා. එහෙම යුගයකුත් තිබුණා. ලෝකයේ තියෙන ආර්ථික අර්බුදයක් හමුවේ මේ තත්ත්වයට රටේ ආර්ථිකය පවත්වාගෙන යාම ගැන අපි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත්, මුදල් ඇමතිතුමාටත් ස්තූතිකරන්න ඕනෑ. 

මම හිතනවා මේ තත්ත්වය පාලනය කරන්න පිටරටවල සල්ලි තියාගෙන ඉන්න අපේ අයට බදු නැතිව, ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතිව ඒ සල්ලි ලංකාවට ගේන්න අවස්ථාවක් දෙන්න ඕන කියලා. අවුරුදු 30 ක් 40ක් පිටරටවල ඉදලා හොඳට හම්බකරපු අය ඉන්නාව තමන්ගේ සල්ලි රටට ගේන්න කැමති නැහැ. ඒ සල්ලි මේ රටට ගේන්න අවසර දෙන්න ඕනෑ. පරීක්ෂා කරන්නේ නැතිව කොහෙන් හරි කමක් නෑ සල්ලි ආවම ඩොලරය බහීවි. මම කියන්නේ අදහසක්. එය හොඳ විකල්පයක් වේවි. ලෝකේ කොහෙන් හරි සල්ලි ගෙනත් මේ ඩොලරය අපිට පාලනය කරන්න පුළුවන් වේවි. ඒකට පක්ෂ විපක්ෂ හැමෝගෙන්ම සහයෝගය ඕනෑ." 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ යක්කලමුල්ල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපියල් ලක්ෂ 20 බැගින් වැයකර ඉදිකරන ලද යක්කලමුල්ල සහ මාගෙදර නැගෙනහිර නිල සෙවණ කාර්යාල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමිනි.