Thursday, April 25, 2024

General line - 0115112241

දෙවන මාත්‍රාව දෙන්න ශ්‍රී ලංකාව රටවල් රැසකින් එන්නත් සොයයි




කොරෝනා මර්දන එන්නත් ලබාදුන් පිරිසට එහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අනිවාර්යයෙන්ම තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ ලබාදුන් පළමු මාත්‍රාවම, දෙවන මාත්‍රාව ලෙස ද ලබාදිය යුතු බවයි.

මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු කොරේානා මර්ධන මෙහෙයුමේ ඉදිරිපෙළ සාමාජිකයින්ට ලබාදුන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතයි.

එය මෙරටට රැගෙන ආවේ ඉන්දියාවෙන්. එහෙත්, මේවනවිට ඉන්දියාවේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එම එන්නත් ලබාගැනීම දැඩි දුෂ්කර වී තිබෙනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ පවතින තත්ත්වය සලකා එන්නත් වර්ග මිශ්‍රකර ලබාදීම කෙරෙහි පරීක්ෂණ සිදුකරන බවයි.

පළමු එන්නත් මාත්‍රාව ලබාදී නියමිත කාලයේදී එහි දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකිවුවහොත්, සිදුවන්නේ කුමක්ද?

මෙලෙස එන්නත් මාත්‍රා මිශ්‍ර කරමින් පළමු මාත්‍රාව ලබාදුන් පිරිසට දෙවන මාත්‍රාව ලෙස ලබාදිය හැකිදැයි නෙත් නිවුස් කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේගෙන් විමසීමක් කළා.

වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව නව ලක්ෂ 25,242 ක්. ඔවුන්ගෙන් පිරිසකට දෙවන මාත්‍රාව ලබාදීම මේවනවිටත් ආරම්භ කර තිබෙනවා.

එහි තවත් අදියරක් කොළඹ නාගරික බලප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙනවා. සඳුදා වනතුරු එහි කටයුතු සිදුවන බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනී වෛද්‍ය දිනූකා ගුරුගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.

කොරෝනා මර්දන එන්නත් ලබාදුන් පිරිසට එහි දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු වෙනත් දිස්ත්‍රික්කවල ද තවදුරටත් සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.