Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 268 ක් දක්වා ඉහළට




ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව සිදුවූ මැග්නිටියුඩ් ඒකක 5 යි දශම 6 ක් වූ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 268 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් සැක පළ කරන බවයි.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා සහන සේවකයින් මහත් පරිශ්‍රමයක් දරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාවද දහස ඉක්මවා ඇති බවයි. 

තවදුරටත් අතුරුදන් වී සිටින පුද්ගලයින් ගණන 151 ක්. මියගිය හා තුවාල ලැබූවන් අතර පාසැල් ළමුන් රැසක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

භූ කම්පනය හටගෙන ඇත්තේ පාසැල් පැවැත්වෙමින් තිබූ අවස්ථාවක බැවින් පාසැල් දරුවන් විශාල පිරිසක් ගොඩනැගිලි තුළ සිරවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. භූ කම්පනය හේතුවෙන් නිවාස 22,000 ක් පමණ විනාශ වී තිබෙනවා.

වාසස්ථාන අහිමිවූ පුද්ගලයින් 58,000 ක් පමණ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන තුළ රඳවා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. භූ කම්පනයත් සමග කඳුකර ප්‍රදේශයක් සම්පූර්ණයෙන් නාය ගොස් තිබූ අතර ඒ හමුවේ ගම්මාන කිහිපයක් සම්පූර්ණයෙන් වැලළී ගොස් ඇති බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.