Thursday, May 9, 2024

General line - 0115112241

ගොයම් කහ පැහැගැන්වීම වළක්වන්න තවත් පියවරක්

රවීන්ද්‍ර චන්ද්‍රලාල්



වී වගාව ආශ්‍රිතව ඇතැම්  ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය පිළිබද සකස් කළ වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාර දී තිබෙනවා. පසුගිය සති දෙක තුළ ක්‍ෂේත්‍රයට ගොස් ඊට අදාල වාර්තාව සකස් කර ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.

ගොයම් කහ පැහැවීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවීමෙන් අනතුරුව ඒ සම්බන්ධව විධිමත් නිරීක්ෂණයන් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසත්, ගත හැකි පියවර සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබුණා.

ගොයම් කහ පැහැගැනීමට හේතු ලෙස පොස්පරස් ඌනතාවය, පොටෑසියම් ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම ලෙස එම වාර්තාවේ දක්වා තිබෙනවා. ඊට අමතරව පැළ මැක්කාගේ හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය, යකඩ විෂවීම යන තත්ත්වයන් හේතුවී ඇති බවයි නිලධාරීන් පෙන්වාදී ඇත්තේ.

ගොයම් කහ පැහැවීම වළක්වා ගැනීමට ගොවීන්ට අවශ්‍ය දැනුවත් කිරීම් කටයුතු මේ වන විටත් සිදුවනවා. අවශ්‍ය වුවහොත් කෘමිහානි මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුදල් වියදම් කර ඒ සඳහා අවශ්‍ය කෘමිනාශක මිල දී ගෙන කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

ඊට අමතරව  නිරීක්ෂණයට ලක් කළ කුඹුරුවලින් බහුතරයක් පෝෂණ ඌනතා නිසා කහ පැහැතිවී ඇති බව අනාවරණවී තිබෙනවා. ඊට හේතුව ලෙස ගොවි ජනතාව විසින් බන්ඩි පොහොර මෙතෙක් කුඹුරුවලට යෙදීමට පියවර නොගැනීම බව එම වාර්තාවෙන් පෙන්වාදී තිබෙනවා.

ඊයේ දිනය වනවිට බන්ඩි පොහොර අලෙවි වී තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 10ක් පමණයි. 

මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් හත් ලක්ෂ 80,000 ක් වන අතර ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝග තත්ත්වයන් වාර්තාවන්නේ ඉන් සියයට 10ක පමණ ප්‍රමාණයක් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

එම කුඹුරු ප්‍රමාණයෙන් ඇතැම් ප්‍රදේශවල නෙමටෝඩා  රෝග තත්ත්වය දක්නට ලැබෙන්නේ සියයට 02ක පමණක් බවද එම අමාත්‍යංශය සඳහන් කළා.

මේ අතර දකුණු පළාතේ කුඹුරු හෙක්ටයාර 8,619 ක ගොයම් කහවීමේ රෝගයට ගොඳුරුවී ඇතැයි පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ඩී.ගුණවර්ධන පැවසුවා.

ගොයම් කහ පැහැ වීම සම්බන්ධයෙන් ගොවීන් කිහිපදෙනෙකු ද මෙලෙස අදහස් පළ කළා.