Saturday, April 20, 2024

General line - 0115112241

උසස් පෙළ නිමවන තුරු අඛණ්ඩව විදුලිය දීමට ප්‍රශ්නයක්




අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වන තුරු අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකියාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා රුපියල් බිලියන 4 .1 ක මුදලක් වැයවන බවයි. 

මේ වන විට විදුලිබල මණ්ඩලය මුහුණදී ඇති දැඩි මූල්‍ය අර්බුදය හමුවේ එවැනි පිරිවැයක් දරා ගැනීමේ ක්‍රමවේදයක් නොමැතිව අඛණ්ඩව විදුලිය ලබාදීම ගැටලු සහගත බවයි ඔහු පැවසුවේ. 

කෙසේවෙතත් යෝජිත විදුලි බිල සංශෝධනය සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදීම සිදුකළහොත් එම අවස්ථාවේ සිට ගැටලුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජේෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ. 

එහෙත් ඊයේ පැවති සාකච්ඡාවේදී විදුලි සැපයුම අඛණ්ඩව ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට මානව හිමිකම් කොමිෂන් සභාව සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනාවක් කර තිබෙනවා. ඒ සඳහා වැයවන පිරිවැය අයකර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේදී සිදුකිරීමට නියමිත යෝජිත විදුලි මිල සංශෝධනයේදී ගෙවීම් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව එහිදී උපදෙස් ලබාදී ඇත්තේ. ඒ අනුව අදාළ මුදල් දින 60 ක් ඇතුලත ගෙවීමට සියලු පාර්ශව එකඟතාව පළ කර තිබෙනවා.

එහෙත් දින 60 කින් ගෙවීමේ පදනම මත අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා දැරීමට වන පිරිවැය සොයාගැනීමට මේ මොහොතේ විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති බවයි විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත පැවසුවේ. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අඛණ්ඩව විදුලිය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළද ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ලිඛිතව විදුලිබල මණ්ඩලය වෙත දැනුම්දී නොමැති බවයි.