Saturday, April 27, 2024

General line - 0115112241

සාකච්ඡාවට ආරාධනා කළ පකිස්තානය ඉන්දියාවේ ආරාධයක් පිළිගැනීම කල් මරයි




ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සමුළුවේ විදේශ අමාත්‍යාවරුන්ගේ හමුවට සහභාගී වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් පකිස්තානය මෙතෙක් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර නැහැ.

ඒ අනෙක් සාමාජික රටවල් සිය සහභාගීත්වය තහවුරු කරමින් ඉන්දියාවට සිය සහයෝගය පළකර ඇති පසුබිමක් තුළයි.

එහෙත් පකිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍ය බිලාවල් භූතෝගේ පැමිණීම තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මෙවර සභාපතිත්වය දරණ ඉන්දියාව ලබන මැයි මාසයේදී එහි විදේශ අමාත්‍යවරුන්ගේ හමුව පවත්වනවා.

ඒ සදහා සහභාගී වන ලෙස ඉන්දියාව පකිස්තානය මෙන්ම චීනයට ආරාධනා කළා.

ඉන්දීය රජය මෙම ආරාධනය සිදු කළේ පවතින අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සාකච්ඡා වටයකට පැමිණෙන ලෙස පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් ප්‍රසිද්ධියේ ඉන්දියාවේ ආයාචනය කර ඇති පසුබිමක් තුළයි.

වසර 20 ක ඉතිහාසයක් පවතින ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් වන්නේ ඉන්දියාව, රුසියාව, චීනය, පකිස්තානය, කසකස්තානය, කිරිගිස්තානය, ටජිකිස්ථානය සහ උස්බෙකිස්ථානයයි.

එහි අලුතින්ම සාමාජිකත්වය ලබා ගත් රට වන්නේ ඉරානයයි.

ඒ අනුව ඉන්දියාවේ සභාපතිත්වය යටතේ ඉරානය පළමුවරට මෙවර ෂැංහයි සහයෝගිතා සංවිධානයට සහභාගී වනු ඇති.