Thursday, April 25, 2024

General line - 0115112241

පුටින්ට එරෙහි වරෙන්තු නොසලකා හරින බව රුසියාව කියයි




ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ට අවශ්‍ය අපරාධකරුවෙකු ලෙස  නම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බවයි.

ඒ, වසරක් පුරා ක්‍රියාත්මක යුක්රේන යුද්ධයේදී ව්ලැදිමීර් පුටින් යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින්. නීතියට පටහැනි ලෙස යුක්රේන දරුවන් රුසියාවට රැගෙන යාම සම්බන්ධයෙන් ද ව්ලැදිමීර් පුටින්ට චෝදනා එල්ල වනවා.

එමෙන්ම රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජනාධිපති කොමසාරිස් මාරියා බෙලෝවාටට් ද , සමාන චෝදනා මත වරෙන්තු නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහෙත් රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක් වන්නේ නැහැ. එබැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුව රුසියානු නායකයාට බලාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ කෙසේද යන්න පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේවෙතත් ඇතැම් වාර්තා පවසන්නේ ව්ලැදිමීර් පුටින් වර්තමානයේදී රුසියාවේ ජනාධිපතිවරයා වුව ද අනාගතයේ දිනක ඔහුට එය අහිමි වනු ඇති බවයි. එවැනි අවස්ථාවකදී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව විචාරකයන් පවසනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති මන්දිරයේ ප්‍රකාශකයා පවසන්නේ ජාත්‍යන්තර අපරධ අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුව පිළිගත නොහැකි බවයි.

එය  නොසලකා හරින බව ද රුසියාව තරයේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා. කෙසේවෙතත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් රුසියානු ජනාධිපතිවරයාට වරෙන්තු නිකුත් කිරීම ඓතිහාසික තීරණයක් බවයි යුක්රේන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.