Saturday, April 20, 2024

General line - 0115112241

ලෝක අවධානය රුසියාවට යොමු කරමින් චීන ජනපති මොස්කව් නුවරට




චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ අද පස්වරුවේ චීන ජනාධිපතිවරයා විශේෂ ගුවන් යානයකින් රුසියාවේ මොස්කව් වෙත පැමිණි බවයි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීම චීන ජනාධිපති ෂී ජින්පින්ගේ රුසියානු සංචාරයේ ප්‍රධාන අරමුණ වනවා. ෂී ජින්පින් රුසියාවට පැමිණියේ ද ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනයකට අනුවයි.

ඒ අනුව චීන ජනාධිපතිවරයා දින 03 ක කාලයක් රුසියාවේ රැඳී සිටීමට ද නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහිදී ඔහු රුසියානු ජනාධිපතිවරයා සමඟ විදේශ සමුළුවකට ද එක්වීමට නියමිතයි. චීන ජනාධිපති ෂී ජින්පින් එලෙස හදිසියේ රුසියාවට පැමිණියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනපේක්ෂිත ලෙස යුක්රේන භුමියේ සංචාරයක නිරතවී දිනකට පසුව වීම විශේෂත්වයක්.

යුක්රේන යුද්ධය නිමා කිරීම සඳහා චීනය මේවනවිටත් සාම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම සාම යෝජනාව පිළිගන්නා බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් ස්ලෙනෙස්කි පළමුව ප්‍රකාශ කළේ චීන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට ද එක්වීමට කැමැත්ත ප්‍රකාශ කරමින්. එහෙත් ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීම ප්‍රතික්ෂේප කර තිබුණා.

ජනාධිපති ෂී ජින්පින් සමග සමුළුවකට එක්වීමට යුක්රේන ජනාධිපතිවරයා කැමැත්ත ප්‍රකාශ කළ ද ඒ සඳහා චීනය නිල වශයෙන් ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ. කෙසේවෙතත් යුක්රේන යුද්ධය නිමා කිරීම සම්බන්ධයෙන් චීනයේ මැදිහත්වීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව චීන ජනාධිපතිවරයා රුසියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා. එමෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් මෙලෙස රුසියාවේ සංචාරයක නිරත වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමක් තුළයි.