Friday, April 19, 2024

General line - 0115112241

මෝඛා සුළි කුණාටුවෙන් බංග්ලාදේශයට සහ මියන්මාරයට දැඩි බලපෑම්




මෝඛා සුළි කුණාටුව හේතුවෙන් බංග්ලාදේශයට සහ මියන්මාරයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

සුළිකුණාටුවත් සමග ඇති වූ තද වැසි සහ තද සුළං හේතුවෙන් වෙරළාසන්න පහත් බිම් ප්‍රදේශවල නිවාස රැසකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම සුළු කුණාටුව මියන්මාරයේ වෙරළබඩ ප්‍රදේශවලට කඩා වැදී ඇත්තේ පැයට කිලෝමීටර් 209ක පමණ වේගයකින්.

එම සුළිකුණාටුව හේතුවෙන් මියන්මාරයේ අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බංග්ලාදේශයේ පිහිටි ලොව විශාලතම සරණාගත කඳවුර වන කොක්ස් බසාර්හි තාවකාලික නිවාස 1,300 කට වැඩි ප්‍රමාණයක් විනාශ වි තිබෙනවා.

බංග්ලාදේශයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ පුද්ගලයින් ලක්‍ෂ 5 කට වැඩි වැඩි පිරිසක් සිය නිවාසවලින් ඉවත් කර ඇති බවද විදෙස් මධ්‍ය වාර්තා කළා.

සිය නිවාසවලින් ඉවත් වූ බොහෝ දෙනෙකු ගවයින්, කුකුළන්, එළුවන් සහ නිදාගැනීමට අවශ්‍ය පැදුරු වැනි දෑ රැගෙන ආරක්‍ෂිත ස්ථාන කරා යන ආකාරය දක්නට ලැබුණු බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මියන්මාර හමුදා පවසා ඇත්තේ සුළි කුණාටුව හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති බවයි.

නගර රැසක විදුලිය සහ සන්නිවේදන පහසුකම් ඇතුළු පොදු සේවා රැසක් බිද වැටී ඇති බවද මියන්මාර හමුදාව ප්‍රකාශ කර තිබෙනවා. 

කෙසේවෙතත් මෝඛා සුළි කුණාටුවේ සම්පූර්ණ බලපෑම මෙතෙක් තක්සේරු කර නොමැති බවයි දෙරටේ බලධාරීන් පවසා ඇත්තේ.